ඇමතිකම් 12කට ආණ්ඩුවේ මන්ත්‍රීවරු කුලල් කා ගනිති … ගැටලු විසඳාගෙන එන්නැයි ජනපති පොහොට්ටුවට දන්වයි!

pohottuwa

නව ඇමතිවරු 12 දෙනෙක් පත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ  අතර එකඟතාවයක් ඇති කරගෙන සියලු කටයුතු සූදානම් කර තිබුණ ද යෝජිත නම්වලට සහ තනතුරුවලට දැඩි විරෝධයක් ඇති වී තිබෙන බැවින් නව පත්වීම් තවදුරටත්  ප්‍රමාද වී ඇත.

බැසිල් රාජපක්ෂ විසින්  ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ  වෙනුවෙන්  ජොන්ස්ටන් ප්‍රනාන්දු, රෝහිත අබේගුණවර්ධන, සනත් නිශාන්ත ඇතුළු නම් අටක් යෝජනා කර ඇතත් ඒ අතරින් නම් කිහිපයකට ආණ්ඩුව තුළම විරෝධය පළ වී ඇත.

යෝජිත නම් අතුරින් ජොන්ස්ටන් ප්‍රනාන්දු රෝහිත අබේගුණවර්ධන, සනත් නිශාන්ත වැනි අයට ඇමතිකම් නොදෙන ලෙස ආණ්ඩුවේ එක් කණ්ඩායමකුත්, ඔවුන්ට ඇමතිකම් දෙනවා නම් තමන්ටත් ඇමතිකම් අවශ්‍ය බවට බලපෑම් කරන තවත් කණ්ඩායමකුත්    නිසා මේ  අභ්‍යන්තර අර්බුදය නිර්මාණය වී තිබේ.

මේ අතර සෞඛ්‍ය ඇමති ධූරය කෙහෙළිය රඹුක්වැල්ලගෙන් ඉවත් කර එම ඇමති ධූරය සමගි ජන බලවේගයේ රාජිත සේනාරත්නට ලබා දීමට ජනාධිපතිවරයා පියවර ගෙන ඇතත් ඊට බැසිල් රාජපක්ෂ ඇතුළු කණ්ඩායමක් විරෝධය පලකර තිබෙන බව අභ්‍යන්තර ආරංචි මාර්ග හෙළි කරයි.


කළුතර දිස්ත්‍රික්කයේ දේශපාලනය කරන රාජිතට සෞඛ්‍ය ඇමතිකම දෙනවා නම් එවැනිම ප්‍රබල ඇමති ධූරයක් තමන්ටත් අවශ්‍ය බව එම දිස්ත්‍රික්කයේම  ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ හිටපු ප්‍රබල ඇමතිවරයෙක්වන රෝහිත අබේගුණවර්ධන ඉල්ලීම් කර ඇතැයි ද එම ආරංචි මාර්ග කියයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ අර්බුදය සියල්ල නිරාකරණය කරගෙන නව ඇමති මණ්ඩලය පත් කිරීමට සූදානමව  එන ලෙස ජනාධිපතිවරයා මේ වනවිට බැසිල් රාජපක්ෂ වෙත දැනුම් දි ඇතැයි වාර්තා වේ.

Exit mobile version