මනම්පිටිය නිමල් ජයරත්න –
පොළොන්නරුව බකමූණ ප්‍රදේශයේ ප්‍රධාන පෞද්ගලික ඇඟලුම් කර්මාන්ත ආයතනයක ආහාර විෂ වීමකින් අසාධ්‍ය වූ එහි සේවක සේවිකාවන් පන්සියයකට ආසන්න පිරිසක් අද (19) පෙරවරුවේ බකමූණ සහ අත්තනකඩවල ග්‍රාමීය රෝහල්වලට ඇතුළත් කර ඇති බව බකමූණ පොලිසිය පවසයි.
රෝගී වූ සේවක සේවිකාවන් එම ඇඟලුම් කර්මාන්තයේ බස් රථවලින් හා ගිලන් රථ මගින් බකමූණ ප්‍රාදේශීය රෝහලටත්, අත්තනකඩවල ග්‍රාමීය රෝහලටත් ඇතුළත් කර ඇති බව පොලිසිය කියයි.
බකමූණ ප්‍රාදේශීය රෝහලේ ඉඩකඩ මදි හෙයින් තවත් පිරිසක් බස් රථවලින් හා ගිලන් රථ මගින් අත්තනකඩවල රෝහලට රැගෙන යාමට කටයුතු කළ ඇති බවද පොලිසිය සඳහන් කරයි.

අත්තනකඩවල සහ බකමූණ රෝහලට ඇතුළත් කළ ඇගලුම් කර්මාන්ත සේවක, සේවිකාවන්ගේ තත්ත්වය බරපතල නොවන බවත් ඔවුන් ප්‍රතිකාර ගනිමින් සිටින බවත් බකමූණ හා අත්තනකඩවල රෝහල්වල ප්‍රකාශකයින් සඳහන් කළේය.
18 වෙනිදා සවස් වන විට මෙම රෝගී තත්ත්වය කිහිප දෙනෙකුට හටගෙන ඇතිතර 19 වෙනිදා සේවය සඳහා ඇඟලුම් කර්මාන්තයට පැමිණෙමින් අනතුරුව රෝගී තත්වය උත්සන්න වීමත් සමග ඔවුන් රෝහල් ගත කර ඇති තිබේ. මෙම ඇඟලුම් කම්හලේ සේවක, සේවිකාවන් 700 ක් පමණ සේවය කරන බව වාර්තා වේ.
සිද්ධිය සම්බන්ධ වැඩිදුර පරීක්ෂණ බකමූණ පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක උපුල් බොලුකදුර මහතා ඇතුළු පොලිස් නිලධාරි කණ්ඩායමක් විසින් සිදු කරයි.





