ආරක්ෂක අංශවල අත්අඩංගුවෙන් මිදී පලා ගොස් ගුවන්තොටුපල දෙවනත් කළ විදේශිකයා!

ටී.කේ.ජී.කපිල –

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ  දී   ගුවන් තොටුපළ ආරක්ෂක අංශ භාරයෙන් පැන යාමට උත්සාහ කළ බව කියන විදේශිකයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ගුවන් හමුදා කමාන්ඩෝ ඒකකය, ගුවන් තොටුපල ආරක්ෂක සහ පොලිස් ඒකක ඒකාබද්ධව සිදුකළ විශේෂ මෙහෙයුමකින් අනතුරුව පැන ගිය සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

ජාතිකත්වය නොදන්නා මෙම විදේශිකයා අද (10) අලුයම ව්‍යාජ විදේශ ගමන් බලපත්‍රයක් භාවිතා කරමින් අබුඩාබි හරහා ප්‍රංශයේ පැරිසිය වෙත යෑම සඳහා ඉටිහාඩ් ගුවන් සේවයේ ඊ.වයි.- 265 දරණ ගුවන් යානයට පිවිසීමට   කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.


කටුනායක ගුවන් තොටුපළ පිටත්වීමේ පර්යන්තය වෙත පිවිසි මෙම විදේශිකයා ගුවන් ප්‍රවේශ පත්‍රය ද ලබා ගැනීමෙන් අනතුරුව, විගමන කවුළුවට පැමිණ තම ලියකියවිලි නිශ්කාශනය කර ගැනීමට සූදානම්වී තිබේ.

මෙම පුද්ගලයා ඉදිරිපත් කළ සීෂෙල්ස් ජාතික බලපත්‍රය පිළිබඳව   ආගමන විගමන නිලධාරීන්ට සැක සිතී එය  දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් වෙත තාක්ෂණික පරීක්ෂණ සදහා යොමු කර  තිබේ.

පසුව බලධාරීන් ඔහුව සැකපිට ප්‍රශ්න කිරීම සඳහා රැගෙන ගොස් ඇත.

ප්‍රශ්න කිරීම් මධ්‍යයේ සැකකරු තමන් පුටුවෙන්  පැන ප්‍රශ්න කිරීමේ කාමරයෙන් පැන ගොස් ඉදිරියේ ඇති වැටවල් මතින් පැන පිටත්වීමේ විවේකාගාරයට ඇතුළු වී ඇත.

එහිදී වහාම ක්‍රියාත්මක වූ ගුවන් තොටුපළ පිටත්වීමේ පර්යන්තයේ එවකට රාජකාරී කරමින් සිටි  ආගමන විගමන දෙපාර්තමේන්තු බළලත් නිලධාරීවරයා , මේ පිළිබඳව කටුනායක ගුවන් තොටුපළ ගුවන් හමුදා කදවුර , ගුවන් තොටුපළ පොලීසිය සහ ගුවන් තොටුපළ ආරක්ෂක ප්‍රධානීන් දැනුවත් කළේය.

ඒ සැනින් මෙම විදේශිකයා , එකවරම , අසළ ඇති තාප්පයකට නැග , එයින්  ගුවන් තොටුපළ පිටත්වීමේ පර්යන්තයේ වහළයට නැග , ඒ මත සැගවී සිට ඇතත් ගුවන් හමුදා කොමාන්ඩෝ භට පිරිසක් එය දැක ඇත.

සැකකරු පිටවීමේ  පර්යන්ත  වහළය මත දිව ගොස් , කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව යන මාර්ගයට පැන , ගුවන් තොටුපළෙන් පිටතට පළා යාමට උත්සාහ කළත් ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් , ගුවන් හමුදා කොමාන්ඩෝ භට පිරිස් , ගුවන් තොටුපළ පොලීසියේ නිලධාරීන් සහ ගුවන් තොටුපළ ආරක්ෂක නිලධාරීන් විශාල පිරිසක් මොහු වට කර පැයකට පමණ පසු ඔහු අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම පුද්ගලයා අවශ්‍යව සිටින සැකකරුවෙකු හෝ විදේශගත බන්ධනාගාරයකින් පැන ආ හෝ ත්‍රස්තවාදයට සම්බන්ධ ක්‍රියාකාරකම්වලට සම්බන්ධ වීමට අවශ්‍යව සිටි පුද්ගලයෙකු විය හැකි බවට බලධාරීන් සැක කරයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ලංකාදීප

Exit mobile version