මනම්පිටිය නිමල් ජයරත්න –
දිඹුලාගල දලුකාන ගම්මානයේ ආදිවාසී නිවසක අද (03) සවස 2ට පමණ ගෑස් ලිපක් පිපිරී එම ගෑස් ලිප විනාශ වී ඇති අතර නිවසේ කිසිවකුටත් හානියක් සිදු වී නොමැත.
තම නිවසේ ගෑස් ලිප දැල්වීමට යෑමේ දී එක්වරම ගෑස් ලිප පුපුරා ගිය බව දලුකාන අංක 25 ලිපිනයේ පදිංචි ආදිවාසි කාන්තාවක් වන 27 හැවිරිදි දෙදරු මවක්වන රෝසප්පුගේ සුජීවා ප්රියදර්ශනී අප සමඟ කීවාය.
තමන් මේ පිළිබඳව හදිසි දුරකථතන ඇමතුම් අංශය ඇමතුවද ඊට ප්රතිචාරයක් නොලැබුන බවත් ගෑස් ලිප පිපිරීම් පිළිබඳ මනම්පිටිය පොලිසියට පැමිණිල්ලක් යොමු කරනබවත් ඇය කීවාය.
තමන් මීට පෙර දර භාවිතා කරමින් ඉහුම් පිහුම් වැඩ කර ගත් බවත්, පවතින අධික වර්ෂාව නිසා දර සොයාගෙන ඒමට අපහසු බැවින් සිය රත්තරන් මාලය බැංකුවේ උගසට තබා අලුතින් ගෑස් ලිපක් සහ ගෑස් සිලින්ඩරයක් ලබාගත් බවත්, සති දෙකක කාලයක තුළදී එය පිපිරී යෑම හිතාගත නොහැකි බවත් ඇය කීවාය.
නිවැසියන් විසින් ගෑස් සිලින්ඩරය දැන් ගෙවත්තට විසි කර ඇති අතර, මෙම තත්ත්වය මත තම පවුල්ම දැඩි අසරණබවට පත්වූ බවද නැවැසියෝ සඳහන් කළහ.
ආදිවාසි දෙදරු මවගේ පියා වන 69 වියැති රෝසප්පුගේ පුංචිබණ්ඩා සඳහන් කළේ තමන්, ආදිවාසීන් ලෙස කිසිදු කලක ගෑස් ලිප් වලින් උයාපිහා නොමැති බවත්, දර, පොල් ලෙලි, භාවිතයෙන් එකල ඉහුම්, පිහුම් සිදුකළ බවත්, වත්මන් කාන්තාවන් පහසුව බලා ගෑස් ලිප් වලින් උයන්නට ගොස්, මුදලුත් ජීවිතත් විනාශය කරගන්නා බවත්ය.







