වත්කම් බැරකම් නීත්‍යානුකූළව භාර දීම යහපත් සංස්කෘතියක් බවත්, අපරාධ නිමිත්තක් උපදවන්නේ කෙනෙකුට දේපළ පැවතීම නොව, උපයා ගත් වත්කමක් උපයා ගත් ආකාරය තහවුරු කිරීමට නොහැකිවීම බවත් අමාත්‍ය ලාල් කාන්ත අද (16)ප්‍රකාශ කළේය.
මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු කීවේ යම් කිසිවෙකුට කාගේ හෝ වත්කම් සම්බන්ධව ගැටලුවක් ඇත්නම් ඒ පිළිබඳව ක්‍රියාත්මක වීමට රටේ නීතියක් ඇති බවය.
“වත්කම් බැරකම් නීත්‍යානුකූලව භාර දෙනවා. මේ වත්කම් බැරකම් සම්බන්ධව ගැටලුවක් තියවා නම් ඒ සම්බන්ධව ඕනෑම කෙනෙකුට නීතිය එකයි. ජාතික ජන බලවේගයේ ඇමති කෙනෙකුට උනත්, අගමැති වුනත්, මන්ත්‍රීවරු වුනත්, පාර්ලිමේන්තුවෙ නූනත්, ප්‍රාදේශීය සභා නගර සභාවල උනත් කාටත් නීතිය එකයි. මටත් එකයි. රටේ කටයුතු සිද්ධ වෙන්නේ ඒ අනුව. ”
“ජාතික ජන බලවේගය සම්බන්ධව යම් කිසි නිශ්චිත චෝදනාවක් තියනවා නම් ඒ ගැන කටයුතු කරන්නත් නීතිමය ආයතන බැඳිලා ඉන්නවා. නීතිමය ආයතන ඒ සම්බන්ධව ක්‍රියාත්මක වෙනවා. ඒ සම්බන්ධව කිසිම බාධාවක් නෑ.” ඇමතිවරයා කීවේය.







