අයි.සී.සී රහස් එළියට ගිහින්… ඔස්ට්‍රෙලියාවට හා ඉන්දියාවට චෝදනා…

සදෙව් රත්නායක –

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ රැස්වීම්වල රහස්‍යභාවය උල්ලංඝනය වීම සම්බන්ධව වහාම ස්වාධීන පරීක්ෂණයක් පැවැත්වීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (අයි.සී.සී.) ඊයේ පැවැති දුරකතන රැස්වීමේදී ඒකමතිකව තීරණය කර ඇත. 

මැයි මස 28 වැනිදා පැවැත්වෙන රැස්වීමේදී සාකච්ඡාවට ලක් කිරීමට නියමිත විස්සයි20 ලෝක කුසලාන තරගමාලාව ලබන වසරට කල් දැමීමේ අවසන් තීරණය ගැනත්, පසුගිය දින කීපය පුරාම ඒ සම්බන්ධව කළ  සාකච්ඡාවන්හි අන්තර්ගත කරුණු ගැනත් ජාත්‍යන්තර මාධ්‍ය අනාවරණය කිරිම හේතුවෙන් මේ තීරණය ගත් බව නිවේදනයක් නිකුත් කරමින් අයි.සී.සී.ය සඳහන් කරයි.

කවුන්සිලයේ සාමාජිකයන් රැසක්ම මෙම ගැටලුව සම්බන්ධව සිය කනගාටුව පළ කර ඇති අතර එහි රහස්‍යභාවය සහතික කිරීමට වහාම අවධානය යොමු කළ යුතු යැයි කියා සිටි බව එම රැස්වීමෙන් පසුව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය කියා සිටියේය. 


ඒ අනුව අයි.සී.සී.යේ ආචාර ධර්ම නිලධාරීයාගේ ප්‍රධානත්වයෙන් සහ තවත් ජාත්‍යන්තර ප්‍රවීණයන්ගේ සහයෝගීත්වයෙන් වහාම ස්වාධීන පරීක්ෂණයක් පැවැත්වීමට ඊයේ රැස්වීමේදී තීරණය කර තිබේ. ජූනි මස 10 වැනිදා පැවැත්වෙන අයි.සී.සී. සාමාජික රටවල විධායක නිලධාරීන්ගේ රැස්වීමේදී එහි ප්‍රගතිය පිළිබඳ තොරතුරු යාවත්කාලීන කරනු ඇත. එතෙක් විස්සයි20 ලෝක කුසලාන තරගමාලවේ ඉරණම තීන්දු කිරීම ඇතුළුව තවත් කරුණු ගණනාවක් සාකච්ඡා කිරීම අත්හිටුවීමට ද පියවර ගෙන තිබේ.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල රැස්වීම්වල තොරතුරු වැඩි වශයෙන් ඉන්දීය සහ ඔස්ට්‍රේලියානු මාධ්‍ය හරහා ප්‍රසිද්ධියට පත්වීම නිසා එම රැස්වීම්වල රහස්‍යභාවය උල්ලංඝනය වීමේ චෝදනාව ඉන්දීය සහ ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනවලට එල්ල වනු ඇතැයි ද වාර්තා වෙයි. 

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එමෙන්ම දින නියමයකින් තොරව කල් ගිය අයි.පී.එල්. තරගාවලිය සඳහා ඉඩක් වෙන් කරගැනීමේ අවශ්‍යතාව මත මෙම රැස්වීමේදී අයි.සී.සී.ය විසින් ගැනීමට නියමිතව තිබු තීරණ පිළිබඳ ඉන්දියාව දැඩි විමසිල්ලෙන් පසුවිය. අයි.පී.එල්.තරගාවලිය අවලංගු කිරීමට සිදුවුවහොත් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයට සිදුවන පාඩුව එරට මුදලින් රුපියල් කෝටි හාරදහසක් පමණ වනු ඇතැයි ද ගණන් බලා තිබේ.‍

 

 

Exit mobile version