අපේක්ෂිත ඇප කැන්සල් වුන දමිතා සහ සැමියා අත් අඩංගුවට ගැනීමට CIDය යද්දි ඔවුන් ගෙදරින් අතුරුදහන් !

ප්‍රසිද්ධ රංගන ශිල්පිනි දමිතා අබේරත්න සහ ඇයගේ සැමියා වන ලෙන්ලි ජොන්සන් යුවළ අත්අඩංගුවට ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ පොලිස්‌ කණ්ඩායමක් ඊයේ (27)රාත්‍රී බොරලැස්ගමුව පැපිලියාන නිවස වෙත ගිය ද ඔවුන් දෙදෙනා ඒ වන විටත් නිවසින් පලාගොස් ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කළේය.

සී.අයි.ඩී. කණ්ඩාම ඔවුන් අත් අඩංගුවට ගැනීමට බොරලැස්ගමුව, පැපිලියාන, ඔවුන්ගේ නිවසට යන්නේ කොරියාවට යවන බව පවසා රුපියල් ලක්ෂ 30ක මුදලක් වංචා කළ බවට පරිගණක අපරාධ කොට්ඨාසයෙන්  ගොනු කළ  චෝදනා යටතේ තමන්  අත්අඩංගුවට නොගන්නා ලෙස ඉල්ලා  දමිතා අබේරත්න සහ ඇයගේ සැමියා  ගොනු කර තිබූ අපේක්ෂිත ඇප ඉල්ලීම කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ   ඊයේ (27) ප්‍රතික්ෂේප කිරීමෙන් අනතුරුවය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් එම නිවසට යන විට එහි සිට ඇත්තේ දමිතා අබේරත්න ගේ මව පමණක් බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් ඇයගේ නිවස ආසන්නයේ ඊයේ (27) රැඳී සිට ඇති බවත් පොලිස් ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේය.

ඊයේ අදාල අපේක්ෂිත ඇප අයදුම්පත ප්‍රතික්ෂේප කරමින් කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ සිය නියෝගයේ සඳහන් කළේ දමිතා අබේරතන් විසින් ඉදිරිපත් කර ඇති ඇයගේ ප්‍රවීන නිළිකම සහ ඇයගේ දේශපාලන භාවිතය හේතුවෙන්  ඇයව අපකීර්තියට පත් කිරීමට දරා ඇති උත්සාහය පිළිබඳ කරුණු දැක්වීම  ප්‍රතික්ෂේප කරන බව ය.


එසේම ඔවුන් දෙදෙනාට අදාළව පරිගණක අපරාධ කොට්ඨාසය විසින් කරන ලද විමර්ශනය එවැනි චේතනාවකින් සිදු කර නැති බව මහේස්ත්‍රාත්වරයා විසින් ඔහුගේ තීන්දුවේ දක්වා ඇත.  නිසි පරිදි විමර්ශන සඳහා සහාය නොදැක්වීම, අධිකරණය මග හැර සිටීම, පවතින නඩු තිබීම සහ ආගමන විගමන පනත යටතේ ඇප ලබාදීමට මෙම අධිකරණයට අධිකරණ බලයක් නොමැතිවීම යන කරුණු මහේස්ත්‍රාත්වරයා නියෝගය ඉදිරිපත් කරමින් දක්වා තිබේ.

ඔවුන් දෙදෙනා වෙනුවෙන් ජ්‍යේෂ්ඨ නීතිඥ අජිත් පතිරණ   ඇතුළු නීතිඥ මඬුල්ලක් සිදු කළ ඉල්ලීම   මහේස්ත්‍රාත්වරයා විසින් ප්‍රතික්ෂේප කළේය.

ඔවුන් දෙදෙනාට එරෙහිව ආගමන විගමන පනත යටතේ වැරදි අනාවරණය වන බවත් ඒ සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර ඇති අතර දමිතා අබේරත්න සහ ඇයගේ සැමියා ඉල්ලා සිටි අපේක්ෂිත ඇපය සම්බන්ධයෙන් විරුද්ධ වන බවත් වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් පරිගණක අපරාධ කොට්ඨාසය අධිකරණයේ පෙනී සිටිමින් පෙර දින අධිකරණයට දන්වා සිටියේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඒ අනුව ඔවුන් දෙදෙනා අත්අඩංගුවට නොගන්නා ලෙස අධිකරණයෙන් සිදු කර තිබූ ඉල්ලීමට අදාළ නියෝගය ඊයේ 27 නිකුත් කිරිමට නියමිතව තිබූ අතර එම නියෝගය නිකුත් කරමින් මහේස්ත්‍රාත්වරයා ඉල්ලා සිටි අපේක්ෂිත ඇපය ප්‍රතික්ෂේප කළේය. –  දිනමිණ

 

Exit mobile version