අප්‍රේල් 02 දා සිට අඛණ්ඩ වැඩවර්ජනයකට යනවා… සෞඛ්‍ය වෘත්තීය සමිති තීන්දු කරයි…

ශ්‍රියානි විජේසිංහ  –                                           

ආර්ථික යුක්තිය ඉටුකර ගැනීම සඳහා වූ සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය අප්‍රේල් 2වන දා සිටි අඛණ්ඩ  වැඩ වර්ජනයකට යාමට තීරණය කර ඇත. 

මෙහි මුල් පියවර ලෙස අප්‍රේල් 01 වෙනිදා උදෑසන 8.00 සිට දහවල් 12.00 දක්වා පැය 4ක කාල සීමාවක සේවාවන්ගෙන් ඉවත් වීමට වෘත්තීය සමිති 72ක නියෝජිතයන් ඊයේ කොළඹදී රැස්ව ඒකමතිකව තීරණය කළ බව සන්ධානය පවසා සිටියි.

අඛන්ඩ වැඩ වර්ජනය සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරිමේ  අත්පත්‍රිකා බෙදා හැරීම සෑම රෝහලක් ඉදිරිපිටදීම හෙට ( 28) දිනයේදී සිදුකරන අතරම ඊට සමගාමීව තෝරාගත් රෝහල් කීපයක් ඉදිරිපිටදී උද්ඝෝෂණයන් පැවැත්වීමට කටයුතු යොදා ඇත.

ආර්ථික යුක්තිය ඉටුකිරිම සඳහා පසුගිය 19 – 20 යන දෙදින තුළ වැඩ වර්ජනයට සූදානම් වූ අවස්ථාවේදී සෞඛ්‍ය ලේකම්වරයා විසින් එම ගැටලුව  මුදල් අමාත්‍යංශය සමග සාකච්ඡා කර විසඳීම සදහා දින 10ක කාලසීමාවක්  ඉල්ලා සිටි අතර එම අවස්ථාව ලබා දී වර්ජනය තාවකාලිකව නතර කළ බව සන්ධානයේ කැදවුම්කරු රවී කුමුදේශ් මෙහිදී  පවසා සිටියේය.


හෙට  (28)  දිනය වන විට සෞඛ්‍ය ලේකම්වරයා ඉල්ලූ දින 10 කාලසීමාව  අවසන්   අතර සෞඛ්‍ය අමාත්‍යංශය විසින් සකස් කළ වාර්තාවට අනුමැතිය ලබා දීම මුදල් අමාත්‍යංශය තවදුරටත් ප්‍රමාද කරමින් සිටින බව ඔහු  පෙන්වාදේ.

සෞඛ්‍ය කාර්ය මණ්ඩලය සඳහා ආර්ථික යුක්තිය ඉටුකර ගැනීම සඳහා වෘත්තීය සමිති 72ක සෞඛ්‍ය කාර්ය මණ්ඩලය සාමාජිකයන් ලක්ෂයකට අධික සංඛ්‍යාවක් මෙම වැඩ වර්ජනය සහභාගී වනු ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙම වැඩ වර්ජනය හේතුවෙන් රෝහල්වල ඖෂධ නිකුත් කිරීම, එක්ස් කිරණ පරික්ෂණ, රසායනාගාර පරික්ෂණ, සැලසුම්කළ සැත්කම්, බාහිර රෝගී අංශය සහ සායනික ප්‍රතිකාරයන් ඇතුලු බොහෝමයක් ප්‍රතිකාර සේවාවන් නතර වීමට නියමිත නමුත්  හදිසි ප්‍රතිකාර පවත්වාගෙන යාම සඳහා විශේෂ කණ්ඩායම් යොදා ඇති බවද සන්දානය පවසා සිටියි.

Exit mobile version