අනුරපුරේ බැංකු කඩන කල්ලිය යළිත් වැඩ පටන්ගෙන

බැංකු සහ මූල්‍ය ආයතනවල දොරගුළු කඩා රාත්‍රී කාලයේ ඊට ඇතුළු වී සේප්පු කපා මුදල් සහ රන් භාණ්ඩ සොරා ගන්නා කල්ලිය නැවතත් අනුරාධපුරයේ වැඩ ආරම්භකර තිබේ.

මිහින්තලේ පිහිටි ලංකා බැංකු ශාඛාවට ඊයේ රාත්‍රියේ ඇතුළුවී සේප්පුව කැපීමට එම කල්ලිය සූදානම් වී ඇතත් හදිසියේම බැංකුවේ ආරක්ෂක සීනුව නාදවීම හේතුවෙන් ඔවුන් පළාගොස් ඇත.

මෑතකදී අනුරාධපුර මාකට්ටුව අසල පිහිටි ලංකා බැංකු ශාඛාවටද ෆෑන් ලයිට් එක ගලවා ඒ තුළින් ඇතුළු වූ මෙම කල්ලිය එහි සේප්පුව කැපීමට ද උත්සහ ගෙන තිබුණි. අසල නිවසක පුද්ගලයෙකු ඒ ගැන විපරම් කිරීම හේතුවෙන් ඔවුන් පළාගොස් තිබේ. එම බැංකු ශාඛාවේ සේප්පුව බිදීමට ඔවුන් කටයුතුකර තිබුණේ දීර්ඝ සති අන්තයකදීය.


බැංකුවලට සහ මූල්‍යායතනවලට ඇතුළු වී සේප්පු කපා මුදල් සහ රන් භාණ්ඩ සොරා ගන්නා කල්ලිය මේ සදහා තෝරාගන්නේ සති අන්ත දිනයන්ය. දින කිහිපයක් බැංකුව තුළ රැදෙමින් සේප්පුව කැපීමට සිදුවන බැවින් එසේ දීර්ඝ නිවාඩු ඒ සදහා යොදා ගනු ලබයි.

එවන් තත්වයක් හමුවේ මිහින්තලය බැංකුව සති අන්ත නිවාඩුවක් නොමැති දිනක රාත්‍රියේ බිදීමට උත්සාහ දැරුවේ ඇයිදැයි පොලීසිය සොයා බැලීමකදී පෙනී ගොස් ඇත්තේ පෙර දින බැංකු ශාඛාවේ සේවකයෙක් කොවිඩ් ආසාදිත බව තහවුරු වීම හේතුවෙන් අද දින සිට බැංකුව දින කිහිපයකට වසා දැමීමට සැළසුම්කර තිබුණු බවකි. ඒ අනුව පැහැදිලි වී ඇත්තේ බැංකුව ඇතුලෙන්ම මෙම කල්ලියට තොරතුරු යන බවකි.

මේ ආකාරයට බැංකු තුළට රිංගා ඔක්සිජන් ලාම්පු මගින් සේප්පු කපා මුදල් සහ රන් ආභරණ සොරකමක් මුලින්ම සිදුවන්නේ 2001 වසරේදී අනුරාධපුර මහජන බැංකුව බිදීමෙනි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඒ සම්බන්ධයෙන් දීර්ඝ විමර්ශනයක් පවත්වා ඊට සම්බන්ධ සැකකරුවන් කිහිප දෙනෙක් අත්අඩංගුවට ගෙන සොරාගත් මුදල්වලින් කොටසක්ද සොයා ගත්තේය.

අනතුරුව විටෙන් විට අනුරාධපුරයේ බැංකු සහ මූල්‍ය ආයතන ඒ අකාරයට සොරුන්ගේ ග්‍රහනයට ලක්විය. 2015 ත් 2018 ත් අතර කාලය තුළ අනුරාධපුරයේ එල්.බී. ෆිනෑන්ස් ආයතනය ඇතුළු මූල්‍ය ආයතන කිහිපයක්ම එකවරම මේ ආකාරයෙට සොරුන්ගේ ග්‍රහනයට නතුවිය. ඒ සම්බන්ධයෙන්ද අපරාධ පරීක්සණ දෙපාර්තමේන්තුව විමර්ශන පවත්වා සැකකරුවන් කිහිප දෙනෙක් අත්අඩංගුවට ගත්තේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඒ අතර 2019 වසරේ තලාවේ පිහිටි රාජ්‍ය බැංකුවකටද සොරුන් ඇතුළුවී මේ ආකාරයටම සේප්පු කපා මුදල් සහ රන් භාණ්ඩ සොරාගෙන තිබුණි. එප්පාවල පොලීසියේ නිලධාරීන් කණ්ඩායමක් එම සොරකමට සම්බන්ධ සැකකරුවන් කිහිප දෙනෙක් අත්අඩංගුවට ගත්තේය. එහෙත් මෙතෙක් මෙම බැංකු සොරකමට සම්බන්ධ මහ මොළකරුවන් අත්අඩංගුවට ගැනීමක් වාර්තා වී නැත.

Exit mobile version