අනුමත කළ රුපියල් දහසේ දෛනික වැටුප නෑ… වතු කම්කරු පිරිසක් උද්ඝෝෂණයේ…

වැටුප් පරිපාලක සභාව විසින් වතු කම්කරුවන් වෙනුවෙන් අනුමත කළ රුපියල් දහසේ දෛනික වැටුප වතු සමාගම් විසින් ලබා නොදීම පිළිබඳ විරෝධය දක්වමින් වෘත්තිය සමිති කිහිපයක වතු කම්කරුවන් පිරිසක් අද (25) දින මස්කෙලිය ඉන්ධන පිරවුම්හල ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත වූහ.

කම්කරු ජාතික පෙරමුණ සහ කම්කරු ජාතික සංගමයේ සභාපති සහ නුවරඑලිය දිස්ත්‍රික් ජාතික සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පලනි දිගම්බරම් විසින් මෙම උද්ඝෝෂණය සංවිධානය කර තිබුණි.

මස්කෙලිය සහ හොරණ වැවිලි සමාගම් විසින් එම අනුමත දෛනික වැටුප ගෙවීමට දැනට නෙලන අමු තේ දළු කිලෝ 18 වෙනුවට කිලෝ 20 ක් නෙලන ලෙස කම්කරුවන්ට බල කරන බව පලනි දිගම්බරම් කියා සිටියේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.



රුපියල් දහසක දිනක වැටුප වැඩි කිරීමත් සමග මෙතෙක් වතු සමාගම් විසින් වතු කම්කරුවන්ට ලබාදුන් සුබසාධන කටයුතු කපා හැර ඇති බවත්, අමු තේ දළු කිලෝ 20 නෙලීමට අසමත්වන වතු කම්කරුවන්ට දිනකට නෙලන අමු තේ දළු කිලෝ ප්‍රමාණයට පමණක් එම වතු සමාගම් විසින් වැටුප ගෙවිම නිසා වතු කම්කරුවන් ආර්ථික වශයෙන් ගැටලු රැසකට මැදි වි සිටින බවත් මන්ත්‍රීවරයා කීවේය.

තවද රජය විසින් රසායනික පොහොර ආනයනය තහනම් කිරිම හමුවේ වතු සමාගම් විසින් තේ වගාවට මාස කිහිපයක සිට රසායනික පොහොර නොයෙදිම නිසා තේ ඵලදාව අඩුවී ඇතැයි ද දැනට නෙලන අමු තේ දළු කිලෝ18 පවා නෙලීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇතැයි ද මන්ත්‍රීවරයා කීවේය.

තේ කිලෝවක් නිෂ්පාදනය සඳහා විශාල පිරිවැයක් දැරිමට සිදු වීම හමුවේ වතු කම්කරුවෙකුට දිනකට රුපියල් දහසක වැටුප ගෙවිමට නම් වතු කම්කරුවන්ගේ සහයොගයද වතු පාලන අධිකාරියට ලැබිය යුතු බව වතු පරිපාලන අංශ පවසන්නේය.

එසේ වතු කම්කරුවන්ගේ සහයෝගය වතු පාලන අධිකාරියට නොලැබෙන්නේ නම් තේ කර්මාන්ත කඩා වැටිමේ දැඩි අවධානමක් පවතින බවද එම නිලධාරිවරයා පැවසිය.
මෙම උද්ඝෝසණයට නුවරඑලිය දිස්ත්‍රික් පා.ම එස්.උදයකුමාර් මහතා ඇතුළු වතු කම්කරුවන් විශාල පිරිසක් සහභාගි වි සිටිහ.

Exit mobile version