අධිකරණයෙන් ඇප නියම වී ඇප කොන්දේසිත් සැපිරූ රැඳවියෙක් මහර දී ඝාතනය වෙලා..

මිනුවන්ගොඩ අධිකරණය ශෝකය ප්‍රකාශ කරයි...

කීර්ති ප්‍රනාන්දු – මිනුවන්ගොඩ –

මහර බන්ධනාගාරයේ දී වෙඩි වැදී මිය ගිය රැඳවියෙකුට මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ කණගාටුව ප්‍රකාශ කළේය.

එසේ කණගාටුව ප්‍රකාශ කළේ මේ රැඳවියාට අධිකරණයෙන් ඇප නියම කර ඇප කොන්දේසි සපුරා මුදල් තැන්පත් කළ පසුත් ඔහුව බන්ධනාගාරයෙන් මුදා නොහැර සිටි කාලයේ දී මේ ඝාතන සිද්ධිය වූ බව ඊයේ ( 16) මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයේ දී හෙළිදරවු වූ පසුය.

ඝාතනය වූ මෙම රැඳවියා බටහිර නිල්පනාගොඩ පදිංචිව සිටි අතුල කුමාර නැමැති පුද්ගලයෙකි. ඔහුගේ නඩුව ඊයේ ( 16) මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයේ දී  කැඳවා තිබිණි.


මේ තැනැත්තා මත්ද්‍රව්‍ය චෝදනා පිට අත්අඩංගුවට ගෙන මහේස්ත්‍රාත් ධිකරණයට ඉදිරිපත් කර පසුව රක්ෂිත බන්ධනාගාරගත කර සිටි අයෙකි. ඔහු සන්තකයේ තිබී අත්අඩංගුවට ගත් හෙරොයින් මත්ද්‍රව්‍ය රජයේ රස පරීක්ෂකවරයා වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ලැබුණු වාර්තතා ප්‍රකාරව ඔහුට පසුගිය නොවැම්බර් 25 දා ඇප නියම වී තිබිණි.

උසාවියේ දී විත්තිකාර මරණකරුගේ බිරිය අඬමින් උසාවිය හමුවේ කියා සිටියේ තමන් ඇප කොන්දේසි සපුරා ඇප මුදල් තැන්පත් කළත් බන්ධනාගාරයෙන් සිය සැමියා මුදා හැර තිබුණේ නැති බවය.

ඇය රාගම රෝහලේ දී සිය සැමියාගේ මෘත ශරීරය හඳුනාගත් බව අධිකරණයට කීවාය.

විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සරත් කරුණාරත්න උසාවියේ දී කියා සිටියේ අධිකරණයෙන් ඇප නියම කිරීමෙන් අනතුරුව ඇප මුදල් තැන්පත් කිරීමෙන් පසුත් බන්ධනාගාර නිලධාරීන් විසින් මුදා නොහල මේ රැඳවියාගේ මරණය ප්‍රශ්නගත බවය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එහිදී මහේස්ත්‍රාත්වරයා මේ මරණය සම්බන්ධව අධිකරණයේ කණගාටුව පල කළේය.

Exit mobile version