ජාතික ජන බලවේගය නසන්න කූට ව්‍යාපාරිකයෝ කෝටි ගණන් වියදම් කරනවා

කලුසල්ලි විසිකරන සේනාධිපති කෝටිපතියෙක් වුන ආකාරය සොයන්න... ටිල්වින් සිල්වා වව්නියාවේ දි කියයි

දිනසේන රතුගමගේ

කලු සල්ලිකාරයින්ගේ හා කූට ව්‍යාාපාරිකයින්ගේ මුදල් යොදවා ජාතික ජන බලවේගය සතු ඡන්ද ප්‍රතිශතය තවදුරටත් පහත හෙලීමට රජයට සම්බන්ධ පුද්ගලයින් උත්සහ කළත් ජාතික ජන ජන බලවේගය ඊට කිසිදා බියනොවන බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා  4 දා වවුනියාවේදී පැවසීය.

වවුනියාවේ හෝටලයකදී පැවති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ ජනතා විමුක්ති පෙරමුණේ  ප්‍රධාන ලේකම්වරයා මේ බව කියා සිටියේය.

අනතුරුව ජාතික ජන බලවේගයෙන් වන්නි මැතිවරණ දිස්ත්‍රික්කයට තරග කරන කණ්ඩායමේ නායක හා දිස්ත්‍රික් සංවිධායක උපාලී සමරසිංහට අයත් වවුනියාව අම්බලන්ගොඩැල්ල ගම්මානයේ පිහිටි නිවසේදීද  ජනහමුවක් අමතනු ලැබීය.


එහිදී තවදුරටත් අදහස් දැක්වූ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම්වරයා කියා සිටියේ රජය හා රජයට සම්බන්ධ පිරිස කළ යුතුව ඇත්තේ ජාතික ජන බලවේගයේ ඡන්ද පදනම අඩු කිරීමට කටයුතු කිරීම නොව ජනාධිපතිවරණයේදී සියයට හතලිස් පහක් ඡන්දය ලබා ගත්  එක්සත් ජාතික පක්ෂයේ ඡන්ද පදනම අඩු කිරීමට පියවර ගැනීම බවද කියා සිටියේය.

නමුත් කිසිවෙකු එසේ නොකරන්නේ ඡන්දයෙන් එක්සත් ජාතික පක්ෂයෙන් බලයට පත්වන පිරිස මුදලට  හෝ තාන්න මාන්නවලට හෝ එසේත් නොමැතිනම් බියකොට හෝ  රාජපක්ෂ රජයට  ගත හැකි නිසා බවද සඳහන් කළේය.

ජාතික ජන බලවේගයේ ඡන්ද පදනම අඩු කිරීම සඳහා රුපියල් කෝටි ගණනක් වියදම් කරන හා  රාජපක්ෂවරු බලයට පත් කිරීම සඳහා තවත් කෝටි ගණනක් මුදල් වියදම් කරන  සේනාධිපති ඉතා කෙටි කලකින් මෙතරම් ධනවතෙකු වූයේ කෙසේද යන්න ගැන පරීක්ෂණයක් පවත්වන ලෙස  ජාතික ජන බලවේගය ඉල්ලා සිටින බවද ටිල්වින් සිල්වා   පැවසීය.

හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද  අලුත්ගමගේ  2011  වසරේදී ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩකයින් ඉන්දියාවට ලෝක කුසලාන තරගය  විකුණන ලද බවට කළ අමූලික බොරුව ගැනද පරීක්ෂණයක් පවත්වා ඔහුට දඬුවම් කරණ මෙන් ජාතික ජන බලවේගය ඉල්ලා සිටින බවද ප්‍රචාරක ලේකම් වරයා මෙහිදී කියා සිටියේය.

ශ්‍රී ලංකාවටත් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩකයින්ටත් ඔහු විසින් ප්‍රසිද්ධියේ සිදු කරණ ලද ඒ අවමානය නිසා ඔහු දේශපාලනයෙන් ඉල්ලා අස්විය යුතු පුද්ගලයෙකු බවට පත්ව ඇතැයිද ටිල්වින් සිල්වා පෙන්වා දුන්නේය.

උතුරේ ජනතාව සෑම මැතිවරණයකදීම ජාතිවාදී ස්වරූපයකින් ඡන්දය ප්‍රකාශ කළ ආකාරය පෙන්වා දුන් ටිල්වින් සිල්වා   ඔවුන් ඔවුන්ගේ ජාතිය දේශපාලන ආගම වශයෙන්  සලකා ඡන්දය ලබා දෙන ලද නමුත් පසුගිය වසර හැත්තෑ එකක් පමණ මේ රටේ බලයට පත් වූ නායකයින් උතුරේ ජනතාවගේ ප්‍රශ්න විසඳා නොමැති බවද  සඳහන් කළේය.

බලයට පත් වූ සෑම දේශපාලන පක්ෂයක්ම මැතිවරණයක් ආසන්නයේදීම  උතුරේ තරුණ තරුණියන්ට රැකියා ලබා දීම වෙනුවට රැකියා අයදුම් පත් බෙදා දුන් බව කී ප්‍රචාරක ලේකම්වරයා මේ තත්ත්වය නිසා උතුරේ තරුණ තරුණියන් හා ජනතාව අතර දුගී දුප්පත්හාවය ඉහළ ගිය බවද පෙන්වා දුන්නේය.

මේ රටේ සිංහල දෙමළ මුස්ලිම් ජනතාව  ඒකරාශී කොට ඔවුන් අතර ජාතික සමගිය වර්ධනය කරවීම වෙනුවට පාලකයින් ඔවුන්ගේ වාසිය තකා මේ ජනතාව තවත් කොටස් වලට බෙදා වෙන්කළ බව ප්‍රකාශ කළ හෙතෙම  එසේ කිරීම තුළින් ජාතිවාදය උලුප්පා බලය ලබා ගත් බවද පැවසීය.

පැවති යහපාලන රජය විසින් විකුණා දමන ලද  සියලුම දේ රාජපක්ෂ ආණ්ඩුවක් යටතේ ආපසු ලබා ගන්නා බව ප්‍රකාශ කළත් හම්බන්තොට වරාය විකිණීම ගැන කිසිම කතාවක් නොකොට වත්මන් පිරිස කොළඹ වරායේ නැගෙනහිර කොටස ඉන්දියාවට විකිණීමට පිඹුරුපත් සකස් කරමින් සිටින බවද  සඳහන් කළ ටිල්වින් සිල්වා   ඉරා දැමීම හෝ කුණු කූඩයට දැමීම හෝ කරන බව කී ඇමරිකානු එන්.සී.සී.ගිවිසුම  දැන් අත්සන් කිරීමට ඇති හැකියාව ගැන සොයා බලමින් ජනතාව රවටවන බවද පැවසීය.

යහපාලන රජය හොරු ඇල්ලීමට බලයට පත් වී  අවසානයේදී හොරු රජයට රිංගවා ගෙන මහ බැංකුවද  කොල්ලකමින් වසර හතරහමාරක කාලයක් කිසිවක් නොකොට කාලය කා දැමූ බව ඔහු පෙන්වා දුන්නේය.

මේ රටේ බලයට පත්වුණු සෑම රජයක්ම මත්ද්‍රව්‍ය අලෙවිකරුවන්ට උදව් කොට ඒ ලැබෙන මුදල් ද දේශපාලනයට යොදා ගෙන ඇති බව මේ දිනවල සිදුවන සිදුවීම් වලින් ඉතා පැහැදිලිව පෙණෙන බව කී ටිල්වින් මහතා කුඩු බොන හා සිල්ලරට කුඩු විකුණන පුද්ගලයින් පොලීසිය ඇතුලු ආරක්ෂක අංශ වලින් අත් අඩංගුවට ගනු ලැබූවත් මහා පරිමාණයෙන් කුඩු අලෙවි කරන පිරිස අත් අඩංගුවට නොගැනීමෙන් පැහැදිලි වන්නේ ඔවුන් හා දේශපාලනඥයින් අතර විශාල සම්බන්ධකමක් පවතින බවද ඔහු පැවසීය.

පෙරටුගාමී පක්ෂය සමග ජනතා විමුක්ති පෙරමුණ එකතු වීමට කළ සාකච්ඡා වල තත්ත්වය කුමක්දැයි පැහැදිලි කරමින් කතා කළ ටිල්වින් සිල්වා‍  පැවසුවේ  ජනතා විමුක්ති පෙරමුණ  සිය පක්ෂයේ ප්‍රතිපත්ති වලට හානි නොවන අන්දමින්  පැමිණෙන ඕනෑම පක්ෂයක් සමග කටයුතු කිරීමට එකඟ බවය.

ඉතිහාසයේදී තම පක්ෂය ඒ අන්දමට කටයුතු කොට ඇති බවද ටිල්වින් සිල්වා මෙහිදී උදාහරණ සහිතව පැහැදිලි කළේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ ජනහමුව අමතා  ජාතික  ජනබලවේගය  පක්ෂයේ වන්නි දිස්ත්‍රික් අපේක්ෂක කණ්ඩායමේ නායක උපාලි සමරසිංහ සහ තවත් කීප දෙනෙකුද කතා කළහ.

Exit mobile version