ශ්‍රී ලංකා ක්‍රිකට් විසුරුවා හැරීමට කුසලා සරෝජනී කමිටුවෙන් හෙළි කළ කරුණු ප්‍රමාණවත්… වාර්තාව වෝහාරික විගණනයකට යොමු කිරීමට නීතිපති උපදෙස් දෙයි….

sri-lanka-cricket

2022 ලෝක කුසලානයේදී ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ඔස්ට්‍රේලියානු සංචාරය පිළිබඳ ක්‍රීඩා අමාත්‍යාංශය විසින් ඉදිරිපත් කළ කුසලා සරෝජිනී කමිටු වාර්තාව විගණකාධිපතිවරයා වෙත යොමු කරන ලෙස නීතිපතිවරයා නිර්දේශ කර තිබේ.

එම වාර්තාව වෝහාරික විගණනයක් සඳහා විගණකාධිපතිවරයා වෙත යොමු කරන ලෙස ද නීතිපතිවරයා නිර්දේශ කර ඇති බව ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ පැවසීය.

පසුගිය වසරේ අගභාගයේදී ඔස්ට්‍රේලියාවේ පැවති විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලියේදී ක්‍රීඩකයින්, නිලධාරීන් සහ හිතවතුන් අතර සිදු වූ බව කියන වැරදි රැසක් විමර්ශනය කළ ක්‍රීඩා අමාත්‍යවරයා විසින් පත් කරන ලද කුසලා සරෝජිනී වීරවර්ධනගේ ප්‍රධානත්වයෙන් යුත් සය සමාජික කමිටුවක් විසින් කරන ලද නිර්දේශය සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යාංශය නීතිපති උපදෙස් ලබා ගැනීමෙන් අනතුරුව නීතිපතිවරයා සිය නියෝගය නිකුත් කර තිබිණි.

වාර්තාවන ආකාරයට කමිටුව විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසුරුවා හැරීමට ප්‍රමාණවත් හේතු සොයා ගෙන තිබේ.
කමිටුව සිය පිටු 63ක වාර්තාවෙන් ක්‍රීඩා අමාත්‍යවරයාට නිර්දේශ කර ඇත්තේ ක්‍රීඩා නීතිය සහ ඒ යටතේ ප්‍රකාශයට පත් කර ඇති රෙගුලාසි යටතේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අමාත්‍යාංශය සමඟ ඇති සම්බන්ධය අත්හිටුවීමට, අවලංගු කිරීමට හෝ නැවත පණ ගැන්වීමට ය.


වියදම් අවම කර ගැනීමට ක්‍රීඩා අමාත්‍යාංශයෙන් උපදෙස් නොතකා ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලකයින් 16 දෙනෙකු ලෝක කුසලාන තරගාවලිය නැරඹීමට යැවීමට රුපියල් මිලියන 65කට අධික මුදලක් වැය කර තිබීම සම්බන්ධව කමිටුව දැඩිව අවධාරණය කර ඇති බව ද වාර්තා වේ.

පවතින තත්ත්වය යටතේ නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝක කුසලාන වියදම් පිළිබඳ පුළුල් විගණනයක් සිදු කරන ලෙස රජයේ විගණකාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින ලෙස නීතිපති දෙපාර්තමේන්තුව ක්‍රීඩා අමාත්‍යාංශයට උපදෙස් දී ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ සාමාජිකත්වය ලබා ගැනීම සඳහා සුදුස්සන්ගෙන් අයදුම්පත් කැඳවීමට තීරණය කර ඇති බව ද ක්‍රීඩා අමාත්‍යවරයා පැවසීය.

Exit mobile version