විස්සයි20 නවසීලන්තයට යයි ද…?

ඩීන් ජෝන්ස් ගේ අපූරු යෝජනාව

සදෙව් රත්නායක –

විස්සයි20 ලෝක කුසලාන තරගමාලාව පැවැත්වීම සම්බන්ධව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සහ සත්කාරක ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය අතර ඇති කඹ ඇදිල්ල නිමා කිරීමට නම් එම තරගමාලාවේ සත්කාරකත්වය වෙනස් විය යුතු බව ඔස්ට්‍රේලියාවේ හිටපු ක්‍රිකට් ක්‍රීඩක ඩීන් ජෝන්ස් ප්‍රකාශ කරයි. කොවිඩ් වසංගතයේ ව්‍යාප්තියත් සමග විස්සයි20 ලෝක කුසලාන තරගමාලාව පැවැත්වීම හෝ කල් දැමීම අතර දෝලනය වෙද්දී ඩීන් ජෝන්ස්ගේ අදහස වී ඇත්තේ තරගමාලාවේ සිහිනය යථාර්තයක් බවට පත් වීමට නම් නිසැක වශයෙන්ම එය නවසීලන්තයේ පැවැත්වීමට කටයුතු සූදානම් කළ යුතු බවය.

ඔස්ට්‍රේලියාව තුළ කොවිඩ් වසංගතයේ බලපෑම් මෙතෙක් අඩුවී නොතිබීමත්, තීරණයක් ගැනීම සම්බන්ධව සාමාජික රටවල් සමග මතවාද රැසකට ගැටීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට සිදුවීමත් සැළකිල්ලට ගනිමින් ඩීන් ජෝන්ස් මේ යෝජනාව ඉදිරිපත් කර ඇත.

මේ වනවිට ක්‍රිකට් විස්තර විචාරකයකු ලෙස කටයුතු කරන ඩීන් ජෝන්ස් විස්සයි20 ලෝක කුසලාන තරගමාලාව නවසීලන්තයේ පැවැත්වීමට යෝජනා කර ඇත්තේ කොවිඩ් වසංගතය පාලනය කිරීම අතින් නවසීලන්තය ලොව සාර්ථකම රට බවට පත්වීම හේතුවෙනි. 


ගතවූ දින 12ක කාලය ඇතුළත නවසීලන්තයෙන් කිසිදු කොවිඩ් ආසාදිතයකු වාර්තා වී නොමැති අතර අගමැතිනිය ජෙසින්ඩා ආර්ඩන් මේ වනවිට කොවිඩ් අවදානම් තත්ත්වය මත පැනවූ බොහෝ තහංචි ලිහිල් කිරිමට පියවර ගෙන තිබේ. ඒ අනුව තවත් දින කිහිපයකින් එරට සමාජ දුරස්ථභාවය සහ ජනතාව ඒකරාශී වීම ඇතුළු තහංචි ගණනාවක් ඉවත්වනු ඇතැයි වාර්තා වෙයි.

ඔක්තෝබර් මස 18 වැනිදා සිට නොවැම්බර් මස 15 දක්වා ඔස්ට්‍රේලියාවේ පැවැත්වීමට සැළසුම් කළ විස්සයි20 ලෝක කුසලාන තරගමාලාවේ ඉරණම තීන්දු කිරීම විවිධ හේතුන් මත කල් දැමීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට සිදුවී තිබේ. කොවිඩ් වසංගතය හේතුවෙන් දැනටමත් ජපානයේ පැවැත්වීමට නියමිතව තිබූ ඔලිම්පික් ක්‍රීඩා උළෙල ලබන වසර දක්වා කල් දමා ඇති අතර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියත් දින නියමයකින් තොරව කල් දමා තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මෙතෙක් විස්සයි20 ලෝක කුසලාන තරගමාලාව පිළිබඳ අවසන් තීරණයක් ගෙන නොමැතිවූවත් එම තරගමාලාව කල් දැමීමේ ඉඩකඩ වැඩි බවට විවිධ මත පළවෙමින් තිබේ. එම තරගමාලාවට ක්‍රීඩා කිරීමට නියමිත බොහෝ ජාත්‍යන්තර ක්‍රීඩකයන් ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගමාලාව නියෝජනය කරන කණ්ඩායම් සමග ගිවිසුම් ගතවී සිටින අතර විස්සයි20 ලෝක කුසලාන තරගමාලාව කල් දැමීමෙන් ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගමාලාව පැවැත්වීමට වැඩි ඉඩකඩක් නිර්මාණය වනු ඇතැයි  බොහෝ ක්‍රීඩකයන්ගේ අදහස වී තිබේ.

 

Exit mobile version