රාජකීයන් තවත් ජයග්‍රහණයක සුබ ලකුණු අතර… ශාන්ත තෝමස් පිලට ලඟාවීමට දරාගත නොහැකි ඉලක්කයක්!

අති උත්කර්ෂවත් ශතක දෙකක් සමග වාර්තාගත සම්බන්ධතාවයක් පිහිටුවමින් රාජකීයන් ලබා දුන් මුල් ඉනිමේ ලකුණු 326ක ඉලක්කය හමුවේ ශාන්ත තෝමස් කණඩායම  අද මුළුමනින්ම බිඳ වැටණේය.

දසිස් මංචනායක  ලකුණු 137ක් සහ රුමිරු පෙරේරා ලකුණු 128ක් රැස් කරමින්   ශාන්ත තෝමස් කණ්ඩායමට ලබාදුන්  මුල් ඉනිමේ ඉලක්කය අසලකටවත් ලංවිය නොහැකිව ඔවුහු  ලකුණු 153කට දැවී ගියහ.

ශාන්ත තෝමස් පිල වෙනුවෙන් සේනාධි බුලන්කුලම ලකුණු 40ක්,  මහිත් පෙරේරා ලකුණු 30ක්, ලැබුවේය.  රාජකීය පිළ වෙනුවෙන් විශිෂ්ට පන්දු යැවීමක සියලුම පන්දු යවන්නෝ නිරත වූහ.

රාජකීය පිල වෙනුවෙන්  සිනෙත් ජයවර්ධනගේ පන්දු යැවීම කැපී පෙනුනේය.  ඔහු පන්දු ඕවර හතක් යැව්වේය. ඉන් තුනක් නිලකුණු ඕවරය. ලබා දුන්නේ ලකුණු 09කි. කඩුළු දෙකක් දවා ගත්තේය.


රනුක මලවිආරච්චි ලකුණු 39ට කඩුළු 02ක්, බුලන් වීරතුංග ලකුණු 26ට කඩුළු 03ක් ලැබුවේය. ඉනිමේ වැඩිම කඩුළු ලාභියා ඔහුය. සන්දේශ් රාමනායක ලකුණු 36ට කඩුළු 02ක්, රුමිරු පෙරේරා ලකුණු 29ට කඩුළු 01 ලැබුවේය.

රාජකීය කණ්ඩායම හිටියේ ශාන්ත තෝමස් පිලට වඩා මුල් ඉනිමේ ලකුණු 173ක් ඉදිරියෙනි.

දෙවැනි ඉනිම ක්‍රීඩා කිරීමට පැමිණි රාජකීය කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් යළිත් මුලුමනින් අසාර්ථක වෙද්දී නායක දසිස් මංචනායක නැවත වරක් අති විශිෂ්ට පිති කරණයක නිරත වූයේය. ඔහු පන්දු 49ක දී ලකුණු 57ක් ලැබුවේය. දසිස් මුල් ඉනිමේ දී ශතකයක් (137) වාර්තා කළ වර්ණවත් පිතිකරුවාය.

දසිස් සමග ශතකය වාර්තා කළ රුමිරු පෙරේරා පන්දු 34ක් තුළ වේගවත් ලකුනු 46ක් සහිතව තවමත් නොදැවී කඩුල්ලේය.  ඔහු සමග සවිඳු සෙනෙත්‍රාරච්චි ලකුණු 11ක් සහිතව  නොදැවී සිටින්නේය.

තරගයේ දෙවැනි දිනය නිමා වනවිට  රාජකීය කණ්ඩායම කඩුළු 04කට ලකුණු 168කි. පළමු ඉනිමේ වැඩි ලකුණු ප්‍රමාණයත් සමග දැනට ශාන්ත තෝමස් කණ්ඩායමට  ඔවුන් ලබා දී ඇති ඉලක්කය 341කි.

ආශ්චර්යයක් නොවේ නම් රාජකීය ජයග්‍රහණය වැලැක්වීම අසීරු වනු ඇත.

හෙට තරගය තීරණය කරන අවසන් දිනයයි.

මේ ලිපියත් බලන්න..

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


රාජකීයයෝ ඉතිහාසය අලුත් කරති…

Exit mobile version