පිටිය මැද ක්‍රිකට් මල ගෙයක් හදා ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ 20යි විස්ස තරගාවලිය නිම කරති…

Dawid-Malan

පන්දු 48ක දී ලකුණු 71ක් ලබා ගත් ඩේවිඩ් මාලන්ගේ පිති හරඹය

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.



ශ්‍රී ලංකා එංගලන්ත 20යි විස්ස තරගාවලියේ තුන්වන තරගයේදීත් ලකුණු 89ක නින්දා සහගත පරාජයක් ලැබූ ශ්‍රී ලංකා කණ්ඩායම අද (26) තරගාවලිය 3-0ක පරාජයක් ලබමින් නිමා කළේය.

අතිශය ග්‍රාම්‍ය ප්‍රාථමික පිතිකරණයක් සහිත ශ්‍රී ලංකා පිතිකරුවෝ මෙවරත් තරගය මල ගෙයක් බවට පත් කලහ.

මුලු තරගයම විහිලුවක් වී තිබිණි. කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායකයා එංගලන්ත කණ්ඩායමට මුලින්ම පන්දුවට පහර දීමට ආරාධනා කළේය. ඒ මනරම් තීරණයේ අරුමය පෙනුනේ එංගලන්තය වෙනුවෙන් පිතිකරණය ආරම්භ කළ ජොනි බයිස්ටොව් සහ ඩේවඩ් මාලන් මුල් කඩුල්ල වෙනුවෙන් ලකුණු 105ක සම්බන්ධතාවයක් ගොඩ නැගීමෙනි. ජොනි පන්දු 43ක දී හතරේ පහර 5ක් සහ එක් 6 පරහක් සමග ලකුණු 51ක් රැස් කළේය. ඉසුරු උදානගේ එකම කඩුල්ල ලෙස එංගලන්තයේ පළමු කඩුල්ල වශයෙන් ජොනි බයිස්ටොව් ලකුණු 51ක් ලබා දැවී යනවිට ආරම්භක පිතිකරු යුවල පන්දු ඕවර 11.4ක් ක්‍රීඩා කර තිබිණි.

ඔහු සමග පිතිකරණය ආරම්භ කළ ඩේවඩ් මාලන් පන්දු ඕවර 18.3 තෙක් පිටියේ රැඳී සිටියේය. ඔහු පන්දු 48ක් තුළ මනරම් ලකුණු 76ක් රැස් කළේය. ඊට හතෙර් පහර 5ක් හා හයේ පහර 4ක් ඇතුළත් විය. ඩේවිඩ් මාලන්ගේ ප්‍රහාරක වේගය 158.33 සේ සටහන්ව තිබිණි. ඔහු දැවී යන්නේ තරගයේ 5වන කඩුල්ල ලෙසය.

මෙම වගකීම් සහිත පිතිකරුවෝ ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට ක්‍රීඩාව එපා කළහ. එංගලන්ත පිතිකරුවෝ පන්දු ඕවර 20 අවසානයේ දී ලකුණු 180ක් රැස් කළහ.

පන්දු යැවීමේ දී දුෂ්මන්ත චමීර පන්දු ඕවර 4ක දී ලකුණු 17කට කඩුළු 4ක් බිඳ හෙළීය. බිනුර ප්‍රනාන්දු පන්දු ඕවර 4ක දී ලකුණු 26ට එක් කඩුල්ලක් ද ඉසුරු උදාන පන්දු ඕවර 4ට ලකුණු 55ක් ලබා දුන් පසු එක් කඩුල්ලක් ද ලබා ගත්තේය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායමේ වැඩිම ලකුණු ලබා ගත්තේ 8වන කඩුල්ල ලෙස පිටියට පැමිණි පන්දු යවන බිනුර ප්‍රනාන්දුය. ඔහු පන්දු 14ක දී ලකුණු 20ක් ලබා ගත්තේය.

ටෙස්ට් ඉනිමක් ක්‍රීඩා කළ ඕෂධ ප්‍රනාන්දු පන්දු 27ක දී ලකුණු 19ක් ලබා ගත්තේය.

අනෙක් එක් ක්‍රීඩකයෙක්වත් ලකුණු 11 සීමාව ඉක්මවූයේ නැත. ආරම්භක පිතිකරුවන්වන ධනුෂ්ක ගුණතිලක ලකුණු 4කටත් නායක කුසල් පෙරේරා ලකුණු 03කටත් දැවී ගියේය. කුසල් මෙන්ඩිස් ලකුණු 06කි. අල්ට්‍රා එජ් තාක්ෂණය තිබෙන තරගයක මුළු ලෝකයටම දැවී යෑම පෙනෙද්දී තෙවැනි විනිසුරු විමසමින් කළ විගඩමින් පසු ඔහු පිටියෙන් නික්ම ගියේය. නිරෝෂන් දික්වැල්ල පන්දු 19ක් පන්දුව සමග ඇඹරෙමින් සිට ලකුණු 11ක් ලබා ගත්තේය. දසුන් ශානක ලකුණු 07ක් ලබා ගැනීමට පන්දු 15ක් වැය කළේය. වනිඳු හසරංග පන්දු 8ක් වැය කර ලබා ගත්තේ එක් ලකුණකි.

ලකුණු 180ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු ඕවර 18.5කදී සියල්ල දැවී ලබා ගත්තේ ලකුණු 91ක් පමණි

20යි විස්ස තරගයක් ලකුණු 89කින් පැරදීමේ විලි ලජ්ජාව සමග ශ්‍රී ලංකා කණ්ඩායම 20යි විස්ස තරගාවලිය නිමා කළේය.

ක්‍රීඩාව සෙල්ලමක් නොවන බව යළිත් එංගලන්තය අපට බරපතල ලෙස කියා දී තිබුණේය.





Exit mobile version