ජනතාව නොමඟ නොයවා තරගය පාවාදුන් අය හෙළි කරන්න – මාලි අභියෝග කරයි

බැරි නම් මෙවැනි බොරු චෝදනා කරන අය ප්‍රතික්ෂේප කරන්න ජනතාව දැනගත යුතුයි...

සදෙව් රත්නායක –

2011 එක්දින ලෝක කුසලාන තරගාවලියේ අවසන් තරගයේ ශ්‍රී ලංකා පිල,  ඉන්දීය පිලට පාවා දුන් බවට හිටපු ක්‍රීඩා ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසින් සිදුකළ ප්‍රකාශයට අභියෝග කරමින් වේගපන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග සමාජ ජාලා ඔස්සේ වීඩියෝවක් නිකුත් කර තිබේ.

තරගය පාවා දුන් බව සහ පාවාදීමට මුල්වූ පුද්ගලයන් දන්නා බව කියමින් ජනතාව නොමඟ නොයවා එම පුද්ගලයන් ප්‍රසිද්ධ කරන ලෙස මාලිංග එම වීඩියෝ පටයෙන් මහින්දානන්ද අලුත්ගමගේ මහතාට අභියෝග කර තිබේ. එමෙන්ම එසේ කිරීමට හැකියාවක් නොමැති නම් මෙවැනි බොරු චෝදනා කරන පුද්ගලයන් ප්‍රතික්ෂේප කිරීමට ජනතාව දැනගත යුතුයැයි ද ඔහු කියා සිටියේය.

‘2011 ලෝක කුසලානය ක්‍රීඩා කළ ක්‍රීඩකයෙක් විදිහටත්, ඒ වගේම අවසන් තරගයේදී ඉන්දීය පිලේ පළමු කඩුලු දෙකම ලබා දුන් ක්‍රීඩකයෙක් විදියට කියන්නේ. ශ්‍රී ලංකා කණ්ඩායමට ලොකු චෝදනාවක් එල්ල කරලා තියෙනවා අපි තරගය මුදලට තරග පාවා දුන්නා කියලා.


හරිම සරළ කාරණාවක් තියෙන්නේ. මුදලට පාවා දුන්නා කියලා කියනවා. ඒ දේවල් දන්නවා කියලා කියනවා. මම හිතනවා මේක අපි රටක් විදියට ඉතාමත් අපකීර්තියට පත්වෙච්ච අවස්ථාවක්. මේකේ සත්‍ය හොයන්න මං හිතන්නේ නෑ වැඩි කාලයක් යාවි කියලා. මොකද හේතුව කළා කියලා දන්නවා නම්, කරපු කට්ටියත් දන්නවා නම් ඒක හොයන්න මහා දින ගණනක් යන්න හේතුවක් නෑ. 

අනිත් කාරණාව තමයි ජනතා නියෝජිතයෙක් විදියට එහෙම දෙයක් කියනවා නම් ජනතාව නොමඟ යවන්නේ නැතිව ජනතාවට ප්‍රසිද්ධියේ මෙන්න මේ අය තමයි තරගය පාවා දුන්නේ…මෙන්න මේ අය තමයි තරගය පාවා දෙන්න මේ විදියට කටයුතු කළේ කියලා දැනුවත් කිරිමේ හැකියාව තියෙන්න ඕනෙ. එහෙම කරන්න හැකියාවක් නැත්තං ජනතාව දැනගන්න ඕන ජනතාව විසින්ම මේ වගේ බොරු චෝදනා කරන අය ප්‍රතික්ෂේප කරන්න.

ඒක නිසා මම මේ ක්‍රිකට් ක්‍රීඩාවේ සුබසිද්ධිය සඳහා අනාගතයේ ක්‍රීඩා කරන ක්‍රීඩකයන් වෙනුවෙන් , ඔවුන්ගේ දෙමව්පියන් වෙනුවෙන් මේ ක්‍රීඩාව දෙස බලන අප්‍රසන්න දැක්ම නැති කරන්න මං හිතනවා රජයක් විදියට හෝ නීතිය ක්‍රියාත්මක කරන්න පුළුවන් උපරිමයෙන් ක්‍රියාත්මක කරලා තරගය පාවා දුන්නේ කවුද ඒගොල්ලො නීතිය ඉදිරියට ගෙනල්ලා, මේකට සාධාරණයක් කරලා, මේ ක්‍රිකට් ක්‍රීඩාව ඉතා පිරිසුදු ක්‍රීඩාවක් හැටියට පත් කරන්න කියලා වගකිව යුත්තන්ගෙන් ඉල්ලනවා. විශේෂයෙන් එහෙම අපි ළඟ ක්‍රමවේදයක් නැතිනම් නව ක්‍රමවේදයක් ඇති කරලා හරි මේකට ඉතා ඉක්මනින් කටයුතු කරන්න කියලා ඉල්ලනවා.‘ මාලිංග සිය වීඩියෝ පටයෙන් එසේ ඉල්ලා සිටී.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


 

Exit mobile version