අයි.පී.එල්. පිටිය දෙවනත් කරන ශ්‍රී ලංකාවේ රැජණ…

සදෙව් රත්නායක –

චමරි අතපත්තුගේ ප්‍රහාරාත්මක පිතිහරඹය හේතුවෙන් ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියට සමගාමීව පැවැත්වෙන  කාන්තා විස්සයි20 අභියෝගතා කුසලාන තරගාවලියේ ට්‍රේල්බේලේසර්ස් කණ්ඩායමට එරෙහිව පෙරේදා  (07) සාජා නුවරදී පැවැති තරගයෙන් ලකුණු දෙකක තියුණු ජයක් අත්කර ගත් පසුගිය වසර දෙකේදීම ශූරතාව දිනූ සුපර්නෝවාස් පිල  අද (09) රාත්‍රියේ අවසන් මහා තරගයට පිට පිට තුන්වැනි වරටත් සුදුසුකම් ලැබීමට සමත්විය. 

මූලික වටයේ තරගවලින් පසුව මේ තරගාවලියට ක්‍රීඩා කළ කණ්ඩායම් තුනම ප්‍රසාද ලකුණු 2 බැගින් ලබා සිටි අතර, සුපර්නෝවාස් (-0.054) සහ ට්‍රේල්බ්ලේසර්ස් (+2.109) අවසන් මහා තරගයට සුදුසුකම් ලැබුවේ වෙලෝසිටි පිල ( – 1.869) තරගාවලියෙන් ඉවතට තල්ලු කරමිනි.

පළමුව පන්දුවට පහරදීමට පිවිසි සුපර්නෝවාස් පිලේ චමරි අතපත්තු පන්දු 48කින් ලකුණු 67ක් රැස් කරමින් කදිම අඩිතාලමක් දැමුවාය. වෙලෝසිටි පිල සමග පැවැති පළමු තරගයේදිත් ලකුණු 44ක් රැස් කළ මේ විශිෂ්ට පිතිකාරිනියගේ ඉනිමට හතරේ පහර 5ක් සහ හයේ පහර 4ක් ඇතුළත් විය. එය මෙවර තරගාවලියේ පිතිකාරිනියක වාර්තා කළ පළමු අර්ධ ශතකය ද විය. 


චමරී අතපත්තු ගේ මනරම් පිති හරඹය

ඉනිමේ 16 වැනි ඕවරයේදී ලකුණු 14ක් උදුරා ගත් මේ වමත් පිතිකාරිනියගේ අර්ධ ශතකය වාර්තා වූයේ පන්දු 37කිනි. 

වර්තමානයේ දී ශ්‍රී ලංකා කාන්තා විස්සයි20 පිලේ නායිකාව ද වන ‘අතා‘ නමින් සෙසු ක්‍රීඩිකාවන් අතර ප්‍රචලිත චමරි අතපත්තු ශ්‍රී ලංකාවෙන් බිහිවූ විශිෂ්ටතම පිතිකාරිනිය වන අතර ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ වැඩිම අවධානය දිනාගත් පිතිකාරිනියන් අතර මුල් පෙලේ පසුවන්නීය. 

ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින ශතකයක් වාර්තා කළ පළමු හා එකම පිතිකාරිනිය වන චමරි 2011 වසරේ අප්‍රේල් මාසයේ අයර්ලන්තයට එරෙහිව මංගල එක්දින ශතකය රැස් කළ අතර සිය ක්‍රිකට් ජීවිතයේදී එම දස්කම පස් වතාවක්ම පෙන්නුම් කිරීමට සමත් වූවාය. ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම ශතක සහ වැඩිම අර්ධ ශතකලාභිනිය ද වන ඇය ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින තරගයකදී ඉහළම ලකුණු සංඛ්‍යාව රැස් කළ පිතිකාරිනිය ලෙසත් වාර්තා පොතට ඇතුළත් වූවාය.

2017 කාන්තා එක්දින ලෝක කුසලාන තරගාවලියේදී නොදැවී ලකුණු 178ක්

ඇගේ එම දස්කම වාර්තා වූයේ 2017 කාන්තා එක්දින ලෝක කුසලාන තරගාවලියේ දී ඔස්ට්‍රේලියාවට එරෙහිව නොදැවී ලකුණු 178ක් රැස් කිරීමෙනි. කාන්තා එක්දින ලෝක කුසලාන තරග ඉතිහාසයේ පිතිකාරිනියක රැස් කළ දෙවැනි ඉහළම ඉනිම  ලෙසත් වාර්තාපොතට ඇතුළත් විය. කාන්තා එක්දින ලෝක කුසලාන තරගයක ශතකයක් රැස් කළ පළමු හා එකම ශ්‍රී ලාංකික පිතිකාරිනිය ද ඇයයි.

වසර 2016 දී අයි.සී.සී. කාන්තා විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේදී දකුණු අප්‍රිකාවට එරෙහිව සිය මංගල අර්ධ ශතකය වාර්තා කළ චමරි විස්සයි20 තරග බිමේ ලකුණු දහස සීමාව පසු කළ පළමු ශ්‍රී ලාංකික පිතිකාරිනිය වූවාය. මේ වනවිට ඇය ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින හා විස්සයි20 තරග බිමේ වැඩිම ලකුණු ලාභිනිය ද වන්නීය. 

පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේදී ඔස්ට්‍රේලියා සමග පැවති විස්සයි20 තරගයේදී සිය මංගල විස්සයි20 ශතකය රැස් කිරීමට ඇය සමත්වූයේ එවැනි දස්කමක් පෑ පළමු ශ්‍රී ලාංකික පිතිකාරිනිය ලෙසටය.

විස්සයි20 මංගල ශතකය රැස් කරමින්

 අතපත්තු මුදියන්සේලාගේ චමරි ජයංගනී නමින් 1990 පෙබරවාරි 9 වැනිදා ගොකරැල්ලේ උපන් ඇය පිතිකාරිනියක මෙන්ම දස්කම් සපිරි දඟපන්දු යවන්නියක ද වන්නීය. මේ වනවිට එක්දින තරග 84කට ක්‍රීඩා කර ඇති ඇය ශතක 5ක් සහ අර්ධ ශතක 14ක් සමග රැස් කළ මුළු ලකුණු සංඛ්‍යාව 2625කි. ඊට අමතරව පන්දුවෙන් දස්කම් පාමින් කඩුලු 23ක් දවාලීමට ද ඇය සමත් වූවාය.  විස්සයි20 තරග 85කට ක්‍රීඩා කළ ඇය එහිදී ශතකයක් සහ අර්ධ ශතක 2ක් සමග ලකුණු 1646ක් ලබා ගැනීමට සමත්වූවාය. විස්සයි20 තරගබිමේ ඇය බිඳ දැමූ කඩුලු සංඛ්‍යාව 26කි. දස්කම් පිට දස්කම් දැක්වූවත් ඇගේ වාර්තා අතර අවාසනාවන්ත වාර්තාවක් ද තිබේ. ඒ එක්දින තරගයක ලකුණු 99කට දැවී ගිය ලොව තුන්වැනි පිතිකාරිනියගේ වාර්තාවය. 

වසර 2009දී ඉන්දියාවට එරෙහිව විස්සයි20 තරගයට එක්වෙමින් පළමුවරට ශ්‍රී ලංකා පිල නියෝජනය කළ ඇය ජාත්‍යන්තර ලීග් ක්‍රිකට් තරගාවලි නියෝජනය කරන එකම ක්‍රීඩිකාව ද වන්නීය. මෙල්බර්න් රෙනෙගේඩ්ස් පිල සමග ගිවිසුම් ගතවෙමින් ඔස්ට්‍රේලියාවේ බිග්බෑෂ් කාන්තා තරග බිමට එක්වූ ඇය යෝක්ෂයර් ඩයමන්ඩ්ස් පිල සමග ගිවිසුම් ගතවෙමින් එංගලන්තයේ විස්සයි20 ලීග් තරග බිමට එක්වූවාය. 

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඇය මෙවර අයි.පී.එල්. කාන්තා ක්‍රිකට් තරගාවලියට එක්වූයේ දෙවැනි වරටය. හෙට පැවැත්වෙන තරගයේදී ට්‍රේල්බ්ලේසර් කණ්ඩායමේ ප්‍රබලතම අභියෝගය බවට පත්වී සිටින 30 හැවිරිදි ‘අතා‘ මෙවරත් සුපර්නෝවාස් පිලට ශූරතාව දිනාගැනීම ප්‍රබලතම තුරුම්පුව බවට පත්වී සිටින්නීය.

 

 

Exit mobile version