ඖෂධීය කංසා වගාව ආයුර්වේද දෙපාර්තමේන්තුව යටතේ පවත්වාගෙන යෑම සඳහා අවශ්‍ය සියලුම නෛතික කටයුතු සකස් කර අවසන් බව දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය නීතිඥ සිසිර ජයකොඩි අද (29) පාර්ලිමේන්තුවේ දී පැවසුවේය.
එක්සත් ජාතීන්ගේ ප්රඥප්ති ප්‍රකාරව, අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලය මගින් ඉදිරිපත් කර ඇති නිර්දේශයන්ට අනුකූලව අපනයන කර්මාන්තයක් ලෙස මෙම වගාව සිදුකරන බවත් බාහිර සමාජයට කිසිම බලපෑමක් ඇති නොවන සේ ශක්තිමත් නීති රාමුවක් තුළ එම වගාව දියත් කරන බවත් ඇමතිවරයා කීවේය.
ඇමතිවරයා කීවේ අයවැයෙන් පසුව එම නීති කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවය.
ඇමතිවරයා මෙසේ කීවේය.
“ඖෂධීය කංසා ආයුර්වේද දෙපාර්තමේන්තුවේ අනුමැතිය යටතේ අපනයන කර්මාන්තයක් ලෙස දියුණු කිරීම සඳහා අපි කටයුතු කරගෙන යනවා.
මේ වනවිටත් ඒ සඳහා අවශ්‍ය සියලුම නීතිමය කටයුතු සකස්කරලා තියෙන්නේ. අයවැය විවාද කාලයෙන් පසුව අපි එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නට කටයුතු කරනවා.
විශේෂයෙන් ම ඒ සඳහා අපි සුරක්ෂිතභාවය සඳහා විශාල තැන්පතුවක් එහි ආයෝජනය කරන තැනැත්තන්ගෙන් ලබාගන්නවා. අපේ සමාජයට කිසිදු ආකාරයකට පිටතට යන්න නොහැකි වන ආකාරයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රඥ්ඥප්ති ප්‍රකාරව යමින් විශේෂයෙන්ම අපි අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලය මගින් ඉදිරිපත් කරලා තියෙන නිර්දේශයන්ට අනුකූලව නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවත්, නීතිපති දෙපාර්තමේන්තුවත් දක්වලා තියෙන රෙගුලාසි මත යම් ලෙසකින් හෝ සමාජයට හානිදායක අවැඩක් සිදුවුවහොත් ආයෝජකයින්ගේ ඒ අතිවිශාල තැන්පතු මුදල අහිමිවන ආකාරයට නීති සකස්කරමින් ඩොලර් බිලියන 3ක අපනයන ආදායමක් අපිට උපයගන්න පුළුවන්කම ලැබෙනවා.”







