බොරැල්ල කොටා පාරේ වෙස්ටන් හොස්පිට්ල් නැමැති රෝහල මුල් කරගෙන සිදුකරගෙන ගිය නීති විරෝධී අවයව ජවාරමට සම්බන්ධ පොලිස් පරීක්ෂකවරයා සම්බන්ධව විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇතැයි වාර්තා වේ.
මෙම අවයව ජවාරම මෙම රෝහල මුල්කරගෙන කාලයක් තිස්සේ පැවතී ඇති බවත්, සමාජයේ අතිශය දුගී පිරිස් වෙත විශාල මූල්‍ය බලාපොරොත්තු උපදවා ඔවුන්ගේ වකුගඩු මුදලට ලබා ගෙන සිදුකරන මෙම ජාවාරම පසුගියදා දෙරණ නාලිකාව විසින් හෙළිදරවු කරනු ලැබුවේ එම ජාවාරමේම තැරැව් කරුවෙක් විසින් ලබා දුන් තොරතුරු පදනම් කරගෙන කළ ගිවේෂණයකින් අනතුරුවය.
රෝහල පවතින්නේ වෛද්‍ය මොහොමඩ් හුසේන් රිස්වි ශරීෆ් යටතේය.
ලංකාවේ නීිතියට අනුව සපුරා තහනම් ශරීර අවයව වෙළෙඳාම මෙම රෝහල මුල් කරගෙන පවත්වාගෙන ගොස් තිබිණි.
අවයව ලබා ගැනීම සඳහා සමාජයේ පහළම ස්ථරයේය ජීවත්වන අන්ත දුගී පිරිස් තෝරාගෙන තිබිණි. මෙම සිද්ධිය හෙළි වන්නේ එවැනි අසරණ මිනිසුන් පස් දෙනෙකුගෙන් වකුගඩු ලබාගෙන පොරොන්දු වූ මුදල ලබා දෙනවා වෙනුවට පොලිස් පරීක්ෂකවරයෙක් ලවා තර්ජනය කරවමින් රුපියල් ලක්ෂ දෙක බැගින් බෙදා දී වකුගඩු ලබා දුන් පුද්ගලයින් පළවා හැරීමෙන් අනතුරුවය.
සිද්ධිය මාධ්‍යයට අනාවරණය කරන්නේ මෙම රෝහලට වකුගඩු සැපයීමේ තරැව් කරුවෙක් ලෙස කටයුතු කරන බ්ලූ මෙන්ඩල් පාර කොළඹ 13, සිරිසඳ සෙවන නිවාස සංකීර්ණයේ පදිංචි වලිසුන්දර මුදියන්සේලාගේ සුපුන් සංජීව නොහොත් සඳුන් නැමැති 32 හැවිරිදි පුද්ගලයෙකි.
ඔහු විසින් වකුගඩු ලබා ගැනීම සඳහා වෙස්ටන් රෝහල වෙත යොමු කළ පුද්ගලයින් 05 දෙනෙක් මෙම වංචාවට ලක් වූ බව ඔහු කීවේය. පසුව කාන්තාවක් සහිත මෙම පුද්ගලයින් 05 දෙනා බොරැල්ල පොලිසියට පැමිණිල්ලක් යොමු කර තිබිණි.
මෙසේ වංචාවට ලක් වී සිටියේ වෘත්තියෙන් වෑල්ඩින්කරුවෙක් වූ කොච්චිකඩේ මයිකල් මාවතේ පදිංචිකරුවෙක්, මාර්ග පිරිසිදු කිරීමේ ආයතනයක සේවය කරන කොළඹ 15 ශ්‍රී පඤ්ඤානන්ද මාවතේ පදිංචිකරුවෙක්. වෑල්ඩින් කරුවෙක් ලෙස සේවය කරන බ්ලූ මෙන්ඩල් සිරිසඳ සෙවන නිවාස සංකීර්ණයේ පදිංචිකරුවෙක්, කුලී කම්කරුවෙක් වන කොළඹ 13 මිරානියා වීදියේ පදිංචිකරුවෙක් සහ කොළඹ 15 පඤ්ඤානන්ද මාවතේ මෙත්සිරි සෙවන නිවාස සංකිර්ණයේ පදිංචි කාන්තාවක්ය.
මෙම දුගී මිනිසුන්ගේ වකුගඩු ගලවාගැනීමෙන් අනතුරුව නීතිය විවරණය කරමින් පොරොන්දු වූ මුදල් ලබා නොදී තර්ජනය කර පළවා හැරීම සිද්ධියට අදාල චෝදනාව විය.
මෙම සිද්ධියට සම්බන්ධ පොලිස් පරීක්ෂකවරයා ඒ අවස්ථාවට පැමිණ තිබුණේ ස්වකීය නිල ඇඳුමෙනි.
මෙම නිලධාරියා පොලිස් මූලස්ථානය විසින් හඳුනාගෙන ඇති අතර ඔහුගේ ඉතිහාසයම අතිශය දූෂිත එක්ක බව වාර්තා වේ.
ඔහු පොලිස් පරීක්ෂකවරයෙක් ලෙස කටයුතු කරන වකවානුවේ තාවකාලික රියදුරු බලපත්‍ර මුදල්වලට විකුණා හසුවී දඬුවම් ලැබ තිබිණි.
කොළඹ අපරාධ කොට්ඨාසයේ රාජකාරි කරන අවධියේ සිය පුතා අතින් ඝාතනය වුණු බියගම විලේජ් හෝටලයේ හිමිකරුගේ ඝාතකයා සැඟවීමට ගත් උත්සාහ හෙළි වීමෙන් ඔහු වැඩ තහනමට ලක් වී සිටියේය.
මේ නිලධාරියා පොලිසියේ දූෂිත ඉහළ නිලධාරීන්ගේ අනීතික ගනුදෙණු සම්බන්ධීකරණය කරන පුද්ගලයෙක් ලෙස කටයුතු කිරීම හේතුවෙන් ඔහුට ටික දිනකින් යළි සේවයට පැමිණීමට හැකි වී තිබේ.
ඔහු බුද්ධි අංශයේ සේවයේ යොදවා තිබුණද නියමිත රාජකාරි පැහැරහැරීම හේතුවෙන් චෝදනා ලැබ තිබේ. මෙම පොලිස් නිලධාරියා කාලයක් තිස්සේ මෙම ජාවරමට සම්බන්ධ බව අනාවරණය වී ඇතැයි පොලිස් ආරංචි මාර්ග කියයි.
ඔහු සම්බන්ධව විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇත.






