ශ්‍රී ලංකාවේ ණය අර්බුදය සම්බන්ධයෙන් දැඩි සහයක් ලබාදෙන බවත්, ශ්‍රී ලංකාව මුහුණ දෙන අභියෝග හමුවේ එම සහය අඛණ්ඩව ලබා දෙන බවත්, ශ්‍රී ලංකාවේ, චීන තානාපති කුයි ෂෙන් හොං මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ හමුවේ අවධාරණය කළ බව කොළඹ, චීන තානාපති කාර්යාලය පවසයි.
අමාත්‍යවරයා සහ චීන තානාපතිවරයා ඊයේ හමු වූ අවස්ථාවේදී මේ බව සඳහන් කර ඇතත්, ශ්‍රී ලංකාව මේ මොහොතේ බලාපොරොත්තු වන, ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීම සඳහා එකඟ වූ බවක් සෘජුව ප්‍රකාශ කර නැත.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් අපේක්ෂිත ඩොලර් බිලියන 2.9ක විස්තීරණ අරමුදල් පහසුකම ලබා ගැනීම සඳහා ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතු අවසන් කළ යුතු වුව ද, ඊට ණය ලබා දුන් ආයතන හා රටවල් එකඟ විය යුතු ය.
දැනට දෙවැනියට ලංකාවට වැඩිම ණය ලබා දුන් රටක් ලෙස චීනයේ එකඟතාව අත්‍යාවශ්‍ය වුව ද, මෙතෙක් එම එකඟතාව ලබා නොදීම බොහෝ දෙනෙකුගේ අවධානයට ලක්ව තිබේ.
ඊයේ හමුවෙන් පසු මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ ද ශ්‍රී ලංකාවේ ණය අර්බුදය සම්බන්ධයෙන් උපරිම සහය ලබා දීමට චීනය කැමැත්ත පළ කළ බව පැවසුව ද ඔහු චීන තානාපතිවරයා සමඟ කළ දීර්ඝ සාකච්ඡාවේදී ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳව චීනය එකඟතාවකට පැමිණි බවක් සඳහන් කර නැත.







