දකුණු කොරියාවේ සෝල් අගනුවර පැවති හැලොවින් උත්සවයකදී තෙරපීමෙන් මියගිය ශ්‍රී ලාංකිකයෙකු වන මුනාව්වර් මොහොමඩ් ජිනාත් තරුණයාගේ මෘත දේහය හැකි ඉක්මනින් ශ්‍රී ලංකාවට රැගෙනවිත් දෙන ලෙස ඔහුගේ දෙමව්පියෝ රජයෙන් ඉල්ලති.
මහනුවර, උඩතලවින්න ප්‍රදේශයේ මඩිගේ ගම්මානයේ පදිංචි කරුවකු වන මරණයට පත්වූ 27 හැවිරිදි මොහොමඩ් ජිනාත් රැකියාවක් සඳහා කොරියාවට ගියේ මීට මාස දෙකකට පමණ ඉහත බව ඔහුගේ දෙමව්පියෝ පැවසූහ.
මෙයට පෙරද වසර දෙකක් පමණ කාලයක් කොරියාවේ සේවය කොට ඇති ඔහු දැනට මාස කීපයකට පෙර ශ්‍රී ලංකාවට පැමිණ විවාහ වීමෙන් අනතුරුව නැවතත් එම රැකියාව සඳහා පිටත්වූ වී තිබේ.
ජිනාත්ගේ පියා 64 හැවිරිදි ජී.අයි.එම්.මුනාෆර්ය. ඔහු ඉන්නේ රෝගි තත්ත්වයෙනි. ඔහුගේ මව එච්.යූ. ෂමීලා ය. ඇය කාලයක සිට පිළිකා රෝගයකින් පෙළෙනේනීය. ජිනාත්ගේ පියා මුනාෆර් කීවේ මෙවැන්නකි.
“අපේ පවුල ඉතා දුප්පත් පවුලක්. තිබුණ ආර්ථික ගැටලු නිසයි පුතා විදේශ රැකියාවකට ගියේ. අපිට සැලකුවේ පුතා තමයි. දැන් ඉතින් අපිට තිබුන හයිය ඉවරයි. අපි අසරණ වුණා. “
ජිනත්ගෙ අම්මා ෂමීලාත් කාලෙක සිට පිළිකා රෝගයෙන් පෙළෙනවා. මමත් රෝගියෙක්. දැන් අපිට කාගේ පිහිටක්ද.
මගේ පුතාගේ මෘත දේහය ඉක්මනින් ලංකාවට ගෙනත් දීලා අසරණ අපිට පිහිටක් වෙන්න කියලයි අපි රජයෙන් ඉල්ලන්නේ. මියගිය ජිනාත්ගෙ මවුපියෝ මෙන්ම ඔහුගේ බිරිඳ සහ බිරිඳගෙ මව්පියෝද 31 දින මහනුවර පිහිටි විදේශ අමාත්‍යාංශ ප්‍රාදේශීය කොන්සියුලර් කාර්යාලය වෙත පැමිණ මේ ඉල්ලීම කළහ.
මුනව්වර් මුහම්මඩ් ජිනාත් (27) වසර දෙකක කාලයක් කොරියාවේ රැකියාවක නිරතව සිට මෙයට මාස දෙකකට පමණ ඉහතදී මෙරටට පැමිණ ඇත. ඒ සිය විවාහය සඳහාය. ඔහු විවාහ වී යළි විදේශ ගතව තිබිණි. මාස දෙකක කෙටි විවාහ ජීවිතයෙන් පසු නැවත රැකියාවට ගිය ජිනාත් යළි කිසිදා එන්නේ නැත.
මියගිය ජිනාත් ගේ ඥාති සහෝදරයෙකු වන එම්.අර්සත් කී කතාව අප කම්පනයට පත් කළේය.
“මියගිය ජිනාත් විවාහ වෙලා මාස දෙකයි.එයා විවාහ උත්සවයෙන් පසු කොරියාවට ගිහින් මාස එකහමාරයි. දැන් අපි දන්නෙ එයා මැරිලා කියලා. .
එයාගේ අම්මයි තාත්තායි ලෙඩින්. අක්කා විවාහ වෙලා..මල්ලී නෙනෙකුත් ඉන්නවා. බිරිද මඩකළපුවේ ඉන්නේ. ඔවුන් සියලු දෙනාගෙම ජීවිත අපේක්ෂා ඉවරයි…“ ඔහු කියන්නේය.
ජිනාත්ගෙ බිරිඳගේ පියා වන 65 හැවිරිදි මොහොමඩ් උමාර් තවත් ඛේදවාචකයක් කියන්නේය.
“ජීනාත් මීට මාස තුනකට පමණ පෙර මාගේ දියණිය වුන 24 හැවිරිදි එෆ්. සප්නා සමඟ විවාහ වුණා. විවාහයෙන් පසු ඔහු නැවතත් රට ගියා. මගේ දුව වාලච්චේනේ පිහිටි මගේ නිවසේ තමයි නතර කරලා ගියේ. මගේ දුව දැන් දෙමස් ගැබිනියක්. ඇයට දැන් කාගේ පිහිටක්ද කියලා හිතාගන්න බෑ. අපි කාටවත් ස්ථිර ආදායම් නැහැ.“ ඒ තාත්තා ගැබිණි දියණිය සමග අසරණය.
ජීවිතයේ ස්වරූපය පුදුමාකාරය. 27 හැවිරිදි තරණයාගේ නික්ම යෑම ජීවිත ගණනක ඛේදවාචකය සලකුණු කර ඇත.







