ශ්‍රියානි විජේසිංහ
මහ කන්නයේ වී වගාවට අවශ්‍ය යුරියා පොහොර මෙට්‍රික් ටොන් 12,500ක් රැගත් පළමු නෞකාව චීනයේ සිට ඊයේ රාත්‍රි කොළඹ වරායට පැමිණ තිබේ.
ලෝක බැංකුව විසින් මෙවර මහ කන්නයට අවශ්‍ය යුරියා පොහොර මිල දී ගැනීම සඳහා ඇමරිකන් ඩොලර් මිලියන 110ක මුදලක් ණය වශයෙන් ලබා දීමට පියවර ගෙන ඇත
මෙවර මහ කන්නයට අවශ්‍ය යුරියා පොහොර මිල දී ගැනීම සඳහා ඉදිරිපත් කළ ප්‍රථම ටෙන්ඩරය අනුව මෙම යුරියා පොහොර තොගය ගෙන්වීමට පියවර ගත් බව කෘෂිකර්ම, වනජීවි හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර පවසයි.
මාස් කන්නයේ වී වගාව තවමත් රට පුරා ආරම්භ වී නැතත් වී වපුරා දින 14ක් තුළ යෙදිය යුතු පළමු යුරියා පොහොර යෙදුම සඳහා අවශ්‍ය යුරියා පොහොර ප්‍රමාණයන් මේ වනවිටත් දිවයිනේ සියලුම ගොවිජන සේවා මධ්‍යස්ථාන වෙත යැවීමට පියවර ගෙන තිබේ.
මේ අතර මහ කන්නය සඳහා අවශ්‍ය යුරියා පොහොර මිල දී ගැනීම සඳහා කැඳවන ලද දෙවන ටෙන්ඩරය අනුව මෙට්‍රික් ටොන් 120,000ක් රැගත් දෙවන නෞකාව නොවැම්බර් මස අවසන් සතිය තුළ මෙරටට ලඟා වීමට නියමිතය.







