ලෝක කුසලාන විස්සයි 20 තරගාවලියේ දී ශ්‍රී ලංකාව හා නෙදර්ලන්තය අතර තරගයේ ශ්‍රී ලංකා ඉනිම නිමා වී තිබේ. ශ්‍රී ලංකාව පන්දු ඕවර 20 අවසානයේ ලකුණු 162ක් ලබාගෙන නෙදර්ලන්තයට තරගකාරී ඉලක්කයක් ලබා දී ඇත.
විස්සයි 20 ලෝක කුසලාන තරගයේ පළමු වටයේ 9වන තරගය ලෙස ඒ ඛාණ්ඩාය යටතේ මෙම තරගය ඔස්ට්‍රේලියාවේ ගීලොන් හි දී පැවැත්වෙමින් ඇත.
තරගයේ දී විශිෂ්ට පිතිකරණයක නිරත වූ කුසල් මෙන්ඩිස් පන්දු 44 තුළ හයේ පහර 05ක් සහ හතරේ පහර 05ක් සමග ලකුණු 79ක් ලබා ගත්තේය.
ශ්‍රී ලංකාව මෙපමණ උසකට ඔසවා තැබුවේ කුසල්ගේ පිතිහරඹය ය.
කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම මුලින්ම පන්දුවට පහර දීම තේරුවේය. එහෙත් තරගය ආරම්භයේ දී නෙදර්ලන්ත පන්දු යවන්නන් ශ්‍රී ලංකා කණ්ඩායමට ලබා දුන්නේ දැඩි පීඩනයකි.
මුළු ලකුණු සංඛ්‍යාව 36 දී පැතුම් නිශ්ශංක ලකුණු 14කට දැවී ගියේය. ඒ එක් හයේ පහරක් සමග පන්දු 21කට ලකුණු 14ක් ලබා සිටියදී ය. වේග පන්දු යවන Paul van Meekerenගේ පැයට කිලෝ මිටර 146ක වේගයන් පැමිණ පන්දුව පැතුම්ගේ කඩුල්ල කුඩු කළේය.

ලකුණු 36 දීම දෙවැනි කඩුල්ලත් බිඳවැටිනි. ධනංජය ද සිල්වා ලකුණු නොලබා මුල්ම පන්දුවේ දි දැවී ගියේය.
එතැන් සිට චරිත් අසලංක සහ කුසල් මෙන්ඩිස් ඉනිමේ වැදගත්ම සම්බන්ධතාවය ගොඩනැගූහ. වැදගත් වන්නේ මේ තරගයේ දී මෙතෙක් ලකුණු අතර නොසිටි චරිත් අසලංක ලකුණු ලබා ගැනීමය. ඔහු පන්දු 30 ක දී ලකුණු 31ක් ලබා ගත්තේය.
එතැන් සිට ඉනිමේ ලකුණු වේගය වැඩි කිරීමට ගිය කිසිම පිතිකරුවෙක් දැනෙන සුළු ලකුණක් ලබා ගත්තේ නැත.
භානුක රාජපක්ෂ ලකුණු 19ක් ලැබුවේය. ඒ පන්දු 13ක දී හතරේ පහර දෙකක් සමගිනි. නායක දසුන් ශානක ලකුණු 8ක් ලැබුවේය. ඒ පන්දු 05ක දී එක් හතරේ පහරක් සමගිනි.
පන්දු යැවීමේ දී වේග පන්දු යවන Paul van Meekeren ඕවර 04ක් තුළ ලකුණු 25කට කඩුළු 02ක් සහ දකුණත් වේග පන්දු යනවන Bas de Leede පන්දු ඕවර 03ක් යවා ලකුණු 31ට කඩුළු 02ක් ලැබුවේය.
ජයග්‍රහණය සඳහා ලකුණු 163ක ඉලක්කයක් නෙදර්ලන්ත කණ්ඩායමට හිමි වී තිබේ.







