-
මාලි අල්මේදා චරිතය නිර්මාණය කළේ රිචඩ් ද සොයිසා ගේ චරිතය අධ්‍යයනය කරලා ඒ ඇසුරින්…
-
මට අවශ්‍ය වුණේ 1980 දශකය තුළ ශ්‍රි ලංකාවේ පැවති අඳුරු සමාජ පැතිකඩ පිළිබඳව යම් පිළිඹිබුවක් කරන්න.
ව්‍යාකූල වර්තමානයක් සහිත ශ්‍රි ලංකාව දෙස සමස්ත ලෝකයම බලා සිටින මොහොතක ශ්‍රි ලංකාවේ ව්‍යාකූල අතිතය පිළිබඳව කියවෙන නව කතාවක් ලෝකයේම අවධානයට ලක්ව ඇති බව ලෝක ප්‍රකට බුකර් සාහිත්‍ය සම්මානයේ හොඳම කෘතිය ලෙස සම්මාන ලද සෙවන් මූන්ස් ඔෆ් මාලි අල්මේදා The Seven Moons of Maali Almeida ) කෘතියේ ලේඛක ශෙහාන් කරුණාතිලක පවසයි.

බුකර් සාහිත්‍ය සම්මානයෙන් පිදුම් ලද දෙවන ශ්‍රී ලාංකිකයා වීමේ ගෞරවය ඔහු හිමි කර ගන්නේ සිය නව කතා ජීවිතය තුළ රචනා කරන ලද දෙවැනි කෘතියෙනි.
මේ පිළිබදව බුකර් වෙබ් අඩවිය විසින් පවත්වන ලද සම්මුඛ සාකච්ඡාවකදී ඔහු පවසන්නේ සෙවන් මූන්ස් ඔෆ් මාලි අල්මේදා නම් කෘතියට 80 දශකයේ ශ්‍රී ලංකාවේ සිටි ප්‍රකට සමාජ ක්‍රියාධරයකු සහ මාධ්යවේව්දියකු වන රිචඩ් ද සොයිසා පදනම් කර ගත් බවයි.
ඔහු මේ ග්‍රන්ථය රචනා කිරීම 2014 වසරේ ආරම්භ කළ බවත් ඒ සඳහා අවශ්‍ය පර්යේෂණ 2009 දී පමණ සිට කළ බවත් මෙම 47 හැවිරිදි ලේඛකයා සඳහන් කරයි.
1975 දී ගාල්ලේ ඉපදුණු ශෙහාන් කරුණාතිලක වැඩ දුර අධ්‍යාපනය නවසීලන්තයේදී හදාරා ඇති අතර කලක් එංගලන්තයේ සහ සිංගප්පූරුවේ වෙළෙඳ දැන්වීම් ක්ෂේත්රයේ සේවය කර ඇත.
“ මගේ නව කතාවේ කතා නායකයා මාලි අල්මේදා . ඔහු සමලිංගිකයෙක්. සමාජයේ විවිධ මුහුණුවර නියෝජනය කල කෙනෙක්. මම මේ චරිතයට පාදක කර ගත්තේ රිචඩ් ද සොයියා. ඔහුත් සමලිංගිකයෙක්. ඔහු සමාජ ක්‍රියාධරයෙක්. මාධ්‍යවේදියෙක්. යුධ ඡායාරූප ශිල්පියෙක්. ඒ වගේම සූදු කෙළින්නෙක්. ඔහුගේ මේ සියලු ලක්ෂණ අධ්‍යයනය කරමින් මම මාලි අල්මේදා කියන චරිතය ගොඩ නැගුවා. ඒ සඳහා විවිධ සමාජ තත්ත්ව හැදෑරීමට මට සිදුවුණා. රිචඩ් ද සොයිසා යුධ ඡායාරූප ශල්පියකු ලෙස භයානක ප්‍රදේශවලට ගියා . එහි අත්දැකීම් මම ලබා ගන්න උත්සාහ කළා.
සමහරු හිතනවා මේ ග්‍රන්තයේ ප්‍රධාන චරිතය වන මාලි අල්මේදා සමලිංගික පුද්ගලයකු නිසා මා එය හුවා දක්වන්නට උත්සාහ කරනවා කියල. නමුත් එය එක් කොටසක් පමණයි. මම ලිංගිකත්වය පිළිබඳව ලෙකු හැදෑරීමක් ඇති ප්‍රවීණයෙක් නෙවෙයි. මට එය මේ කෘතිය තුළ ඉස්මතු කිරීමේ කිසිදු අවශ්‍යතාවක් තිබුණේ නෑ. මට අවශ්‍ය වුණේ 1980 දශකය තුළ ශ්‍රි ලංකාවේ පැවති අඳුරු සමාජ පැතිකඩ පිළිබඳව යම පිළිඹිබුවක් කරන්න.
“ මම මේ පොත ලිවීම ගැන හිතන්න ගත්තේ 2009 වසරේ. එය අපේ රටේ දිගු කාලයක් තිබුණු යුද්ධය නැති වුණු අවුරුද්ද. අපේ රටේ එහෙම දෙයක වුණේ ඇයි? කාගේ වරදින්ද? මම මේ ගැන හිතුවා. නමුත් මම ලියන්න ගත්තේ 2014 – 2015 විතර. සෑහෙන කාලයක් තිස්සේ මේ කතාව වරින් වර විවිධ දේ එකතු කරමින් ලිව්වා. 1989 වැනි කාලයක පැවති රටේ වාතාවරණය වැනි ලක්ෂණ මම සලකා බලුවා. 1989 වැනි කාලයක රටේ තිබුණේ භීෂණයක්. ඝාතන, මල මිනී වෙඩි තැබිම් එමටයි. එ අතිතය ගැන ලියන එක වර්තමානය ගැන ලියන එකට වඩා ආරක්ෂිතයි කියල මට හිතුණ.
මේ නිසා මේ තේමාවට මා ඒ වගේම විවධ හොල්මන් අවතාර කථා, මරනින් මතු ජීවිතය, මරාණාසන්න අත්දැකීම් වැනි දේ පිළිබඳවත් මම යම් යම් හැදෑරීම් සිදුකොට මා සොයා ගත් හිතට ආවේ දේ “ඒ 4“ කොල පිරෙන්න පැන්සලෙන් ලිව්වා. පසුව මම ඒ ඇසුරින් කථාවට යම් රාමුවක් පරිගණකයෙන් ටයිප් කළා.
ශෙහාන් කරුණාතිලක රටේ වර්තමානය ගැනද මෙසේ පවසයි.
“ ඉදිරියට අරගලය ගැන, විරෝධතා ගැන පළාගිය ජනාධිපතිවරු ගැන හොඳ කතා ලියවෙන බවට කිසිම සැකයක් නෑ. නමුත් මේ අප දකින ඒවාට වඩා රට තුළ විසිරුණු හිංසනය ගැන ආර්ථික ප්‍රශ්න ගැන තවත් කතා බොහොමයක් තිබේවි. අද රටේ පවතින ආර්ථික දුෂ්කරතා තුළ අද නිර්මාණය වී ඇති අර්බුද කිසිසේත් 1989 පැවැති තත්වයට හෝ 1983 පැවති භීෂණ තත්ත්වයට සමාන කරන්න බෑ. “







