අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කෙරුණු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත සිය නීතිඥවරුන් මාර්ගයෙන් අධිකරණයට භාරවීමෙන් පසුව තරයේ අවවාද කොට වරෙන්තුව ආපසු කැඳවීමට අභියාචනාධිකරණය තීන්දු කළේය.
මින්මතුවට සෑම නඩු දිනයකම පුද්ගලිකවම අධිකරණයේ පෙනීසිටිය යුතු බවටත් විනිසුරු මඩුල්ල විසින් විත්තිකාර සනත් නිශාන්තට තරයේ අවවාද කළේය.
අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් අද (13) අධිකරණය හමුවේ පෙනීසිට කරුණු දක්වන ලෙස දන්වා අභියාචනාධිකරණය විසින් ඉකුත්දා සනත් නිශාන්ත රාජ්‍ය අමාත්‍යවරයා වෙත සිතාසි නිකුත් කර තිබුණි.
අධිකරණය විසින් එසේ සිතාසි නිකුත් කළේ ශ්‍රී ලංකා අධිකරණ නිලධාරීන්ගේ සංගමය මෙන්ම නීතිඥවරුන් වන ප්‍රියලාල් සිරිසේන හා විජිත කුමාර යන මහත්වරු විසින් ඉදිරිපත් කළ පෙත්සම් සලකා බැලීමෙන් අනතුරුවය.
එම පෙත්සම් අද අභියාචනාධිකරණ විනිසුරුවරුන් වන නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ආර්. ගුරුසිංහ ඉදිරියේ කැඳවනු ලැබීය.
පෙත්සම්කරුවන් කියා සිටින්නේ ඉකුත් මැයි මස 09 වනදා ගාලු මුවදොර “ගෝඨාගෝ ගම” අරගලයට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩුකරයක් ගොනුකර ඇති බවත් එහි සැකකරුවකු වශයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත නම්කර ඇති බවය.
එම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සනත් නිශාන්ත මන්ත්‍රීවරයා කොටුව මහෙස්ත්‍රාත්වරයා විසින් රක්ෂිත බන්ධනාගාරගත කර පසුව ඇප මත මුදාහැරී බවත් පෙත්සම්වල සඳහන් වෙයි.
එසේ තිබියදී අගෝස්තු මස 23 වනදා පොදුජන එක්සත් පෙරමුණු පක්ෂ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ වගඋත්තරකාර සනත් නිශාන්ත, අරගලකරුවන්ට මහෙස්ත්‍රාත්වරු ඇප ලබාදීම සම්බන්ධයෙන් විවේචනාත්මක අදහස් පළකොට ඇතැයි ද පෙත්සම්වලින් චෝදනා කර තිබේ.
එම ප්‍රකාශය තුළින් වගඋත්තරකාර සනත් නිශාන්ත අධිකරණයේ ගෞරවය හෑල්ලුවට ලක්කොට නීතියේ ආධිපත්‍ය අභියෝගයට ලක්කොට ඇතැයි චෝදනාකරන පෙත්සම්කරුවන් අදාළ ප්‍රකාශය හරහා මහජනතාව අධිකරණය කෙරෙහි තබා තිබෙන විශ්වාසය බිඳහෙළීමට ඔහු ක්‍රියාකර ඇති බවත් සඳහන් කර සිටියි.
ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 105 (3) වගන්තිය යටතේ සනත් නිශාන්ත මන්ත්‍රීවරයා අධිකරණයට අපහාසයක් සිදුකර ඇති බවද පෙත්සම්කරුවන් චෝදනා කර තිබේ.
දෙරණ-







