චාමින්ද වාරියගොඩ –
-
හරක්කටා නිදහස් කරගන්න ජනාධිපති නීතිඥයෙක් ඇතුළු නීතිඥ මණ්ඩලයක් ඩුබායි ගිහින්…
-
පසුගිය මස 18 වැනිදා සීඅයිඩී ය ආරක්ෂක අමාත්‍යාංශයට භාර දුන් ලිපි ගොනු යට ගහින්… රාජ්‍ය තාන්ත්‍රික වශයෙන් යළිත් රටට අප්‍රසාදය ගෙන දෙමින් හරක් කටා නිදහස් වන්නේ නිලධාරීන්ගේ වැරැද්දෙන්…
කොලොම්බියාව යනු මත්ද්‍රව්‍ය ජාලයත් රාජ්‍ය පාලනයක් එක ට සමාන්තරව ගිය රටක් ලෙසද ප්රකටය. මේ දකුණු ඇමරිකානු රාජ්‍යය මෙහෙයවූවන් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුන් අතර පැවැති අනොන්‍ය සබඳතාව අවසානයේ ලෝකයම පිළිකුල් කරන අශික්ෂිත රාජ්‍ය තන්ත්රයක් බවට පත්විය.
ඒ සම්බන්ධයෙන් ලොව පුරා සිදු කෙරුණු සිද්ධි අධ්‍යයනයන් සහ පර්යේෂණ රාශියක් සිදුව ඇත. මීට දශකය පමණ සිට කොලොම්බියාවේ තත්වයය. එදා පටන් ම ඒ රටේ මත්ද්‍රව්‍ය ජාලයට එරෙහිව කතා කරන එකාට රටේ තැනක් නැත. එයට විරුද්ධව වැඩ කරන එකාට කැනක් නොතැනක් නැතිව වෙඩි වදින්නට ඉඩ තිබේ. එවැනි අපරාධ හමුවේ රටේ දේශපාලකයන්ද හෙල්ලෙන්නේ නැත. එයට හේතුව ඔවුන් මත්ද්‍රව්‍ය ජාවාරමුන්ගේ සල්ලි ගස් හොල්ලා ජීවත් වන නිසාය.
අද ශ්‍රි ලංකාවේ අගනුවර කොළඹ, කොලෙම්බියාවක් වන තැනට වැඩ සැලසී ඇත. කොළම් තොට දකුණු ආසියාවේ වරාය මර්මස්ථානය කියා අප පාරම්බෑවාට අද කොළඹ ලෝකයේ මත්ද්‍රව්‍ය හුවමාරු වේ ජාත්‍යන්තර මර්මස්ථානයක් වන තැනට කරුණු යෙදී ඇත. මේ දැවැන්ත ජාලයට සම්බන්ධිත දේශීය නියෝජිතයෝ විදේශ රටවල සැඟවී කොලොම්බියාවේ කරන සේවයම කරති.
පසුගිය මාස කිහිපය තුළ කොළඹත් දකුණු පළාත ඇතුළු රටේ තැන් කිහිපයක එක පිට ඇති වූ දාම ඝාතන ගැන මෙනෙහි කරන්න. පසුගිය මැයි මාසයේ 30වැනිදා කොළඹ බැස්ටියන් මාවත බස් නැවතුම්පළ අසළ නඩුවකට පෙනී සිට ආපසු යමින් සිටි තරුණයකුට යතුරු පැදියකින් පැමිණි නාඳුනන වෙඩික්කරුවකු වෙඩි පහර එල්ල මරණයට පත් කළේය. එය මත් ජාවාරමේ පලි ගැනීමේ වැරදුණු ඉලක්කයක් බව පසුව අනාවරණය විය. මේ ඝාතනයෙන් පසුව එක දිගට ඝාතන දාමයක් සිදුවිය. එයින් සිදුවූ මරණ සංඛ්‍යාව 30කට අධිකය.
මේ ඝාතන සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලදී සොයා ගත් ප්‍රබල කරුණක් වූයේ එයින් ඝාතන 18ක් පමණම එකම එක පුද්ගලයකුගේ මෙහෙවීම් මත සිදුව ඇති බවය.
සිය මත්ද්‍රව්‍ය ජාලයේ ආධිපත්‍යය වැනසීමට දායක වන කවරකු හෝ දුටු තැන වෙඩි කබා ඝාතනය කිරීමේ නියෝගය මේ ජාවාරම්කරුවා නිකුත් කර තිබුණේ ඩුබායි සිටය. මාකඳුරේ මධුෂ් නමින් ප්රකටව සිටි මත් ජාවාරකම්කරුවා ඩුබායි හිදී පොලිසියට කොටු වීමෙන් පසුව ශ්‍රි ලංකාවේ මත් ආධිපත්‍ය රැක ගැනීමට සමත්වූ මේ ජාවාරම්කරුවා නදුන් චින්තක හෙවත් හරක් කටාය.
ශ්‍රි ලංකාවේ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයත් එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය සහ අපරාධ පිළිබඳව කාර්යාලයත් වෙනත් රටවල ආරක්ෂක සහ බුද්ධි සේවාවල දායකත්වයෙත් සහිතව ක්‍රියාත්මක වන ජාවාරම් මැඩලීමේ වැඩපිළිවෙළ හරහා හරක්කටා ඇල්ලීමට පොලිසිය මෙහෙයුමක් දියත් කර තිබුණේය.
ඔහු ආගිය එන යන තැන හඳුනාගෙන සිටි මෙම විමර්ශකයන් ජාත්‍යන්තර පොලිසියට ඔහු අත්අඩංගුවට ගන්නා ලෙස දැනුවත් කර තිබුණි.
ව්‍යාජ ගමන් බලපත්‍රයක් තබාගෙන ඩුබායිහි සිට රටන් රට යන මේ කුප්‍රකට ජාවාරකම්කරුවා පිළිබඳව ලබා දී දී තිබූ ටක්කෙටම හරියන ඔත්තු සහ තොරතුරු මත පදනම් පසුගිය අගෝස්තු මස 11 වනිදා හරක් කටා පොලිස් අත්අඩංගුවට පත් විය. ඒ සිය බිරිය යැයි හඳුන්වා දුන් තැනැත්තියක් සමග ඩුබායි සිට මැලේසියාවට යෑම සඳහා ඩුබායි ගුවන්තොටුපලට පැමිණි අවස්ථාවේ දීය.
මැනවින් නිරීක්ෂණය කළ හැකි කරුණක් නම් ඔහුගේ අත්අඩංගුවට පත්වීමෙන් පසු ශ්‍රි ලංකාව තුළ ක්‍රියාත්මක වූ දාම ඝාතන රැල්ල යම් තාක් දුරටකට අඩපණ වීමය.
මෙම ජාවාරම්කරු අත්අඩංගුවට පත්වීම ශ්‍රි ලංකාවේ මත්ද්‍රව්‍ය නිවාරණ ක්ෂේත්රයේ සිටි පොලිස් නිලධාරීන්ගේ ජයග්‍රහණයක් බඳු විය. ඊළඟ පියවර වන්නේ ඔහු ශ්‍රි ලංකාවට ගෙන්වීමය. පසුගිය කාලයේ සිදුවූ දාම ඝාතන අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරම පිළිබඳව විමර්ශන ඉදිරියට ගෙන යාමය.
මොහු ශ්‍රි ලංකාවට ගෙනවිත් අදාළ විමර්ශන කටයුතු සිදු කරන බවට අපේ ආරක්ෂක ලොක්කෝද පාරම් බෑහ. මේ අපරාධකරු පිළිබඳව සැලකිය යුතු තොරතුරු සතුව පවතින රහස් පොලිසිය යුහුසුළුව ඊට අදාළ විමර්ශන වාර්තා සකස් කළ අතර ඩුබායි රාජ්‍යයෙන් දන්වා ඇත්තේ ඔහු මෙරටට ගෙන්වීමට අදාළ නෛතික ක්‍රියාවලිය මාසයක් තුළ සම්පූර්ණ කිරීම අවශ්‍ය වන බවය.
ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සකසන ලද අදාළ ලිපි ගොනුව ආරක්ෂක අමාත්‍යංශයේ අනුමැතිය සහ අදාල විමර්ශණවලින් පසුව පසුව නීතිපතිවරයාටත් එයින් පසුව විදේශ අමාත්‍යංශයටත් යොමු කළ යුතුව තිබුණි.
එහෙත් පසුගිය මස 18 වැනිදා ආරක්ෂක අමාත්‍යංශයට ගිය මෙම ලිපි ගොනුව යළි ඉදිරි කටයුතු සඳහා ආවේ නැත. මේ ගැන සිදුවන පළමු අනාවරණය සිදුවන්නේ එක්තරා දෛවෝපගත දිනයකය. එ පසුගිය ඔක්තෝබර් මස 03 වැනිදාය.
එදින මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්ගේ ප්‍රධානත්වයෙන් පැවති පොලිස් ප්‍රධානීන් ඇතුළු මහජන ආරක්ෂාව පිළිබඳව ආයතන ප්‍රධානීන්ගේ රැස්වීමකදී මෙම මත් ජාවාරම්කාර හරක් කටා නැමැත්තා ශ්‍රි ලංකාවට රැගෙන ඒමට අදාළ ප්‍රගතිය පිළිබඳව අමාත්‍යවරයා විමසා ඇත. එහිදී අනාවරණය වන්නේ අදාළ ලිපි ගොනු ආරක්ෂක අමාත්‍යංශයේ ඉහළම නිලධාරියකු අත ප්‍රමාද වෙමින් පවතින බවය. ඩුබායි රාජ්‍යය විසින් ඉල්ලා සිටින ලද නිශ්චිත දින වකවානු තුළ අදාළ වාර්තා නොයැවුහොත් හරක් කටාට නිදහස් විය හැකි බව ඒ වනවිටත් බලධාරීන් දැනගෙන තිබිණි.
කෙසේ වුවද අදාළ කටයුතු ප්‍රමාදයකින් තොරව සිදුකරන ලෙස ටිරාන් අලස් අමාත්‍යවරයා ද උපදෙස් දී ඇත.
කෙසේ වුවද ආරංචි මාර්ග සඳහන් කරන්නේ එදිනම ඩුබායි පෙලිසිය අදාළ සැකකරුවා නිදහස් කිරීමට කටයුතු කර ඇති බවය. ඒ සඳහා අවශ්‍ය නෛතික කටයුතුවලට මෙරට ප්‍රධාන පෙළේ ජනාධිපති නීතිඥයකු ඇතුළු නීතීඥ මණ්ඩලයක් හරක් කටා වෙනුවෙන් ඩුබායි බලා ගොස් ඇති බවද අනාවරණය වෙයි.
කෙසේ වුවද අද පොලිසිය තුළ මෙන්ම රජයේ ඉහළම තැන්වල මේ සිදුවීම පිළිබඳව සිදුවන කතා බහ වන්නේ ආරක්ෂක අමාත්‍යංශය තුළ ක්‍රියාත්මක වන යම් හදිසි හස්තයක් මේ ක්‍රියාදාමට පසුපසට අදින්නට කටයුතු කළේද යන්නය.
එහිදී කලකිරවන සුලු කරුණ වන්නේ අද ආරක්ෂක අමාත්‍යංශයේ පරිපාලන මුල් පුටුව දරන්නාය. ඔහු තිස් වසරක කොටි ත්‍රස්තවාදිය විනාශ කිරීමට තීරණාත්මක දායකත්වය දුන් හමුදා නිලධාරියෙකි. කොටි නායක ප්රභාකරන් ගේ ජීවිතය තොර වන්නේ ද ඔහුගේ අණසක යටතේ පැවති නන්දිකඩාල් කලපුවේදීය.
කොටි ත්‍රස්තවාදය අවසන් කළ ඔහු ආරක්ෂක ලෙක්ම්වරයා ලෙස පත්ව පැමිණ මේ රටින් පාතාලය සහ මත්කුඩු ජාවාරම කුඩු පට්ටම් කරන බවට කළ උදාන ප්‍රකාශ මේ රටේ සමස්ත ජනතාව විශ්වාස කළහ. ඒ ඔහුට ඊට සරිලන පැටිකිරියක් තිබූ නිසාය. එවැනි නිලධාරියකු මුල් පුටුව දරන අමාත්‍යංශයක් මේ මොහොතේ රටට ගෙන්විය යුතුව ප්‍රබල මත්දුව්‍ය ජාවාරම් සහ අපරාධකරුවකු විශාල මුදලක් සහ වෙහෙසක් දරා සාමූහික ප්‍රයත්නයකින් පසු ව අත් අඩංගුවට පත්වීමෙන් පසුව ඔහු මෙරටට ගෙන්වීම ප්‍රමාද කිරීම පිළිබඳව අපට පවතින්නේ බරපතල ප්රශ්නයකි. ඒ ප්‍රශ්නයට ආරක්ෂක ලේකම් කමල් ගුණරක්න මේ රටේ ජනතාව හමුවේ පිළිතුරු දිය යුතුය යන්න අපේ විශ්වාසයයි.
එයට හේතුව මේ මත් ජාවාරමුන් නීතියෙන් ගැලවීමට මෙන්ම නීතියට හසු නොවීම සඳහාත් ජාවාරමින් උපයා ගන්නා මුදලින් දැවැන්ත කොටසක් වියදම් කරන නිසාය. වාර්තා වන ආකාරයට දේශපාලනයන් සමඟ වැඩි ඇසුරක් නැති මේ ඩුබායි හිදී අත්අඩංගුවට පත් නදුන් චින්තක නම් දකුණු පළාත කේන්ද්‍ර කර ගත් ජාවාරම්කරුවා කලක පටන් නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන් සිය මුදල් ග්‍රහණයේ තබා කටයුතු කරන්නකු ලෙස ප්‍රකට නිසාය.
මේ වනවිට නිදැල්ලේ සිටින මේ අපරාධකරුවා අතින් තවදුරටත් සිය ජාවාරමට එරෙහි වන්නන් ඝාතනය වන්නේ නම්, කුඩු ගෝනි පිටින් මුහුදු මාර්ගයෙන් ශ්‍රි ලංකාවට හෝ වෙනත් රටවලට යන්නේ නම් ඒ සෑම දෙයකටම මේ පුද්ගලයා අත්අඩංගුවෙන් නිදහස් කිරීමට “ෆයිල් යට ගැසූ“ නිලධාරීන් වගකිව යුතුය.
එක් අතකික් රට රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් තවදුරටත් හෑල්ලුවට ලක් කළ මේ සිදුවීම සම්බන්ධයෙන් විෂය භාර අමාත්‍යවරයා වන ජනාධිපතිවරයාටද වගකීමක් ඇත. එබැවින් වගකිව යුත්තන් පිළිබඳව නිසි විමර්ශනයක් සිදු කොට ඊට අදාල පියවර ගැනීම රටේ ඉහළම විධායකයටත් නිරායාසයෙන්ම පැටවෙන වගකීමක්ව ඇත.







