ඉන්ධන ඇනවුම් කිරීමට පෙර දින තමන් ලබා ගන්නා ඉන්ධන තොගය සඳහා ගෙවීම සිදු කළ යුතු බවට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව හඳුන්වා දුන් නව ගෙවීම් ක්‍රමය හේතුවෙන් ඉන්ධන පිරවුම්හල් 400 ක් පමණ තාවකාලිකව වසා දැමීමට සිදුව ඇතැයි ඉන්ධන පිරවුම්හල් හිමියන්ගේ සංගමයේ සභාපති කුමාර් රාජපක්ෂ පවසයි.
පසුදා ඉන්ධන තොගය ලබා ගැනීම සඳහා පෙර දින රාත්‍රී 9.30 ට පෙර ඉන්ධන තොගය සඳහා ඉන්ධන පිරවුම්හල් මුදල් ගෙවිය යුතු බවට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නියම කර ඇතත් එසේ සිදුකිරීම අපහසු කටයුත්තක් බව සභාපතිවරයා පෙන්වා දුන්නේය.
රාත්‍රී 9.30 ට පෙර ඉන්ධන පිරවුම්හල් හිමියන් මුදල් ගෙවීමට අපොහොසත් වුවහොත් පසුදින ඔවුන්ට ඉන්ධන නොලැබෙන බව ඔහු ප්‍රකාශ කළේය.
මේ හේතුවෙන් ඇතැම් ඉන්ධන පිරවුම්හල් තාවකාලිකව වසා දැමීමට සිදු වූ බවත් සති කිහිපයක් සාර්ථකව ඉන්ධන නිකුත් කිරීමෙන් පසුව නැවතත් ඉන්ධන ලබා ගැනීම සඳහා දිගු පෝලිම් දැක ගැනීමට හැකි වූ බවත් ඔහු කීවේය.
ලංකා ඉන්දියානු තෙල් සමාගමේ ඉන්ධන පිරවුම්හල් මීට සමාන ගෙවීම් ක්‍රමයක් අනුගමනය කළත් එම ඉන්ධන පිරවුම්හල් සඳහා මධ්‍යම රාත්‍රී 12 තෙක් කාලය ලබා දී තිබෙන බවත් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවද එය අනුගමනය කරන්නේ නම් එය ඉන්ධන පිරවුම්හල් හිමියන්ට පහසුවක් බවත් සභාපතිවරයා පෙන්වා දුන්නේය.
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව දිනකට බෙදා හරින ඉන්ධන ප්‍රමාණය ඩීසල් මෙට්‍රික් ටොන් 4000 ක් සහ පෙට්‍රල් මෙට්‍රික් ටොන් 3000 ක් දක්වා සීමා කර තිබුණත් රට සාමාන්‍ය තත්ත්වයට පත් වෙමින් තිබීම හේතුවෙන් ඉන්ධන සඳහා පාරිභෝගික ඉල්ලුමද ඉහළ යමින් පවතින බැවින් දිනකට බෙදා හරින ඉන්ධන ප්‍රමාණය වැඩි කළ යුතු බව ඔහු කිවේය.
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ගිණුමට මුදල් බැර කළත් නියමිත වේලාවට ඉන්ධන බෙදා හැරීමක් සිදු නොවන බව ශ්‍රී ලංකා ඛනිජ තෙල් අලෙවිකරුවන්ගේ සංගමයේ සම ලේකම් කපිල නාඔටුන්න චෝදනා කළේය.
ඉන්ධන ලබා ගැනීමට ප්‍රථම චෙක්පත් ලබා දීම අලෙවිකරුවන් සහ ඉන්ධන පිරවුම්හල් හිමියන්ට ප්‍රායෝගික ගැටලුවක් වී ඇති බවත් ඒ හේතුවෙන් ඉන්ධන පිරවුම්හල් කිහිපයක් තාවකාලිකව වසා දැමීමට සිදුව ඇති බවත් ඔහු පෙන්වා දුන්නේය.
විශේෂත්වය වන්නේ නව ගෙවීම් මත ඉන්ධන පිරවුම්හල් ක්‍රියාත්මක කරගත නොහැකි මට්ටමට පත් වී ඇත්තේ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් ඉන්ධන පිරවුම්හල් 700ක් පමණ විදේශීය තෙල් සමාගම් වෙත පැවරීමට රජයේ සුදානම මධ්‍යයේ වීමය.
එක්සත් අරාබි එමීර් රාජ්‍යය, සෞදි අරාබිය. චීනය, ඉන්දියාව, රුසියාව, බ්‍රිතාන්‍ය, මැලේසියාව, නෝර්වේ සහ පිලිපීනය යන රටවල සමාගම් 24 ක් පමණ ඉන්ධන පිරවුම්හල් ලබා ගැනීම සඳහා ව්‍යාපෘති යෝජනා ඉදිරිපත් කර ඇතැයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ආරංචි මාර්ග ප්‍රකාශ කළේය.
ලංකාදීප –







