අරගලයේ ක්‍රියාකාරී භූමිකාවක් කිරීම හේතුවෙන් ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගත් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ, අන්තර් විශ්ව විද්‍යාලීය භික්ෂු බල මණ්ඩලයේ කැඳවුම්කරු පූජ්‍ය ගල්වල සිරිධම්ම හිමි, කැලණිය මහා ශිෂ්‍ය සංගමයේ ශිෂ්‍ය ක්‍රියාකාරී හෂාන්ත ගුණතිලක දින 90ක රැඳවුම් නියෝග මත ප්‍රශ්න කිරීම සදහා නාරාහේන්පිට ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය වෙත යොමු කර තිබේ.
එතැනින් ඔවුන් තංගල්ල රැඳවුම් මධ්‍යස්ථානය වෙත යොමු කර ඇත.
ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ දින 90ක් රඳවාගෙන ප්‍රශ්න කිරීම සඳහා ආරක්ෂක අමාත්‍යවරයා වූ රටේ විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (22) අත්සන් තැබුවේය.
රඳවාගෙන සිටින කාලය තුළ ඔවුන් බැලීම සඳහා සතියකට එක් දිනයක් උදේ 9 සිට සවස 4 දක්වා ඔවුන්ගේ ලඟම ඥාතීන්ට අවසර හිමිවේ. අදාල අමුත්තන් රැඳවුම්කරුවන්ගේ ලඟම ඥාතීන් බවට අදාල ප්‍රදේශයේ ග්‍රාම නිලධාරියා විසින් සනාථ කළ යුතුව ඇත.
මේ රඳවා ගැනීමට එරෙහිව සහ මෙම තරුණ ශිෂ්‍ය නායකයින් තිදෙනාගේ ජීවිත ආරක්ෂාව පිළිබඳ තර්ජනයට අදාලව අන්තර් විශ්වවිද්‍යාලයී ශිෂ්‍ය බල මණ්ඩලය අද මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිල්ලක් ගොනු කළේය.
එමෙන්ම ත්‍රස්තවාදී ලේබලය අලවා ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන අධිකරණය මගහැර දින 90ක් අත්අඩංගුවේ රඳවාගෙන කෙරෙන මෙම මර්ධනකාරී පිළිවෙත පිළිබඳ පූර්ණ වාර්තාවක් අද ඔවුන් එක්සත් ජාතීන්ගේ සංගම් කාර්යාලයට භාර දුන්නේය.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ශිෂ්‍ය ව්‍යාපාර නායකයින් අත්අඩංගුවට ගෙන දින 90ක රැඳවුම් නියෝග මත රඳවාගෙන ප්‍රශ්න කිරීම පිළිබඳව මානව හිමිකම් සුරකින්නන්ගේ එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත මේරි ලෝව්ලෝ, ජාත්‍යාන්තර ක්ෂමා සංවිධානයේ දකුණු ආසියානු කලාපයේ අධ්‍යක්ෂ යාමිනී මිශ්‍රා, මෙරට ඇමරිකා එක්සත් ජනපද තානාපතිනී ජුලි චන්ග්, යුරෝපා සංගම් තානාපති කාර්යාලය දැඩි අප්‍රසාදය පල කර තිබිණි.







