ලලිත් චාමින්ද –
“දුම්රිය අනතුරු ඇඟවිමේ සංඥාව නාද වුනා. කාර්රථය හෙමින් ඉදිරියට ආවා. මම කැගහලා කීවා කොච්චිය එනවා දාන්න එපා එපා කියලා. කාර් රථයේ විදුරු වහනගෙන ආවේ. දුම්රිය මාර්ගය මැදම කාර් රථය නතර වුනා. දුම්රිය කාර් රථයේ ගැටීමත් සමග කාර්රථයේ සිටි අය උඩින් විසිවෙලා එලියට වැටුනා. පොඩිදරුවන් දෙදෙනෙකු හිටියා. ගැබනි මවක් හිටියා. ලොරි රථයකින් තුවාලකරුවන් කරාපිටිය රෝහලට අපි එකතුවෙලා රැගෙන ගියා“

ගාල්ල මකුළුව ගංගාරාම දුම්රිය හරස් මාර්ගයේ අනතුරු ඇගවිමේ සංඥා දැල්වෙමින් තිබියදි කාර් රථයක් දුම්රිය හරස් මාර්ගය හරහා ධාවනය කිරීමේ දි මාතර සිට වවුනියාව බලා ධාවනය වෙමින් තිබු දුම්රියේ ගැටිමෙන් කාර් රථයේ ගමන්ගත් හත් හැවිරිදි දැරියක් සහ ගැබිනි මවක් මියගොස් පස් දෙනෙකු බරපතල තුවාල ලබා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමේ සිද්ධිය පිළිබඳ ඇසින් දුටුවෙක් කීවේ එසේය.
අද (18) පෙරවරු 10.20ට පමණ මෙම අනතුරවි ඇත.
මියගොස් ඇත්තේ කේ.එල්.එස් ෂාඩිලා හංසි නැමති ගැබනි මවක් හා එල් යු දිසානායක (07) නැමති දැරියකි. ගැබනිමව නො 376 පුබුදුඋයන, කිරිවත්තුඩුව හෝමාගම ප්‍රදේශයේ පදිංචිකාරියකි. අනික් තුවාලකරුවන් මකුළුව ප්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති.
කාර්රථයේ පවුල්කිහිපයක ඥාතින් 07 දෙනෙකු ගමන්කොට ඇත. ඔවුන් පිළියන්දල ප්‍රදේශයේ පැවැත්වෙන මංගල උත්සවයකට සහභාගිවිම සඳහා කාර්රථයෙන් ගමන්කරමින් සිට ඇති බව පොලිස් පරික්ෂණවලදී අනාවරණය වි ඇත.
කාර්රථය ගාල්ල දෙස සිට මකුළුව දෙසට ගමන්කරමින් සිට ඇත. මකුළුව ගංගාරාම දුම්රිය හරස් මාර්ගයේ අනතුරු ඇඟවිමේ විදුලි සංඥා දැල්වෙමින් තිබියදි කාර්රථය දුම්රිය හරස් මාර්ගය හරහා ධාවනය කොට ඇත. ඒ සමග කාර් රථය දුම්රිය හරස් මාර්ගය මැද නතරවි දුම්රියේ ගැටි ඇති බව පොලිස් පරික්ෂණ වලදි අනාවරණය වි ඇත.
තුවාල ලබා ඇත්තේ පිරිමි පුද්ගලයින් තිදෙනෙකු එක් කාන්තාවක් හා කුඩා දරුවෙකි. තුවාලකරුවන්ගේ තත්වය බරපතල බව රෝහල් ආරංචිමාර්ග සදහන් කරයි. මියගිය දැරිය තුන ශ්‍රේණියේ ඉගෙනුම ලබන දැරියකි.
ගාල්ල වරාය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක දුමින්ද කුමාර මහතාගේ මෙහෙයවිම යටතේ මෙම අනතුර පිළිබද පරික්ෂණ පැවැත්වේ.







