රට අගාධයේ ගැඹුරුම පත්ල දකිමිනි. මේ වැටුණු වළෙන් ගොඩ ඒමට අයෙක් අත්හදා බැලිම් කරමින් සිටිති. රසදිය භාවිතයෙන් විදුලිය ජනනය කළ ගම්පොල ගැමියා එවැන්නෙකි.
ඔහුගේ ප්රයත්නය නිර්දය විවේචනයට ලක් වුනේය. එය ගැඹුර නොදැන කළ බිහිසුණු අත්හදාබැලීමක් බව දැන් තහවුරු වී ඇත. කෙසේ වෙත්ත මේ වනවිට රසදිය සම්බන්ධව ඉතාම හොඳ කථිකාවක් නිර්මාණය වී තිබේ. විනාශකාරී ගර්හාවන්ට නොගොස් දැනුම පදනම් කරගත් පිරිසක් ඇති කර තිබෙන සංවාදය යහපත් එකකි.
ආචාර්ය චම්මි අත්තනායක මේ රසදිය විදුලිය පිළිබඳව අප සමග දීර්ඝ සංවාදයකට එක් වූයේය. මේ ඒ සංවාද සටහනය.
රසදිය විස –
”රසදිය අනෙක් ලෝහ වර්ග වලට වඩා විශේෂයි. ක්‍රිස්තු පූර්ව 600 සිට රසදිය යොදා ගනිමින් විවිධ නිර්මාණ ක්‍රියාකාරකම් සිදු කළ බවට තොරතුරු තිබෙනවා. ලෝහ ගුණාංගයන් වන විදුලිය ගමන් කිරීම වාෂ්ප බවට පත්වීම ඇතුළු සියලු කාරණා රසදිය තුළත් අඩංගුයි. මෙහි බරපතලකම තියෙන්නේ මිනිස් සිරුරකට ඇතුළු වීමයි. මිනිස් සිරුරකට ඇතුළු වීමෙන් පසු සිරුරේ ඕනෑම පද්ධතියක් විනාශ කිරීමේ හැකියාව රසදියවල තිබෙනවා.
දියරයක් ලෙස පවතින රසදිය කෑමෙන් ආහාර මාර්ගයට යන්න පුළුවන්. ජලයෙන් ආහාර මාර්ගයට යන්න පුළුවන්. ගෑවුනොත් සම තුළින් සිරුර තුළට ඇතුළු වෙන්න පුළුවන්. හුස්ම ගැනීමෙන් ස්වසන පද්ධතියට ඇතුළු වෙන්න පුළුවන්.
රසදිය මාරකය
මේ කුමන මාර්ගයකින් සිරුර තුළට ඇතුළු වුණත් එය ස්නායු පද්ධතියට විශාල බලපෑමක් එල්ල කරලා වකුගඩු පද්ධතියට හානි කරනවා.
ස්වසන පද්ධතිය දරුණු ලෙස ක්‍රම ක්‍රමයෙන් හෙමිහිට විනාශ කරනවාත ඒ හැරුණු විට මිනිසුන්ගේ මානසික රෝග තත්ත්වයන් උත්සන්න කරනවා . මේ සඳහා ලෝකයේ සෙසු රටවල උදාහරණ තිබෙනවා
කලකට පෙර ජපානයේ රසායනික ද්‍රව්‍ය වලින් නිෂ්පාදනය කරන භාණ්ඩ ඇති ආයතනයක් කාබනික රසදිය ගඟකට එකතු කොට තිබුණා. එයින් සිදුවූයේ සුළුපටු විනාශයක් නෙවෙයි . ගංගා ආශ්‍රිතව මාළු ආහාරයට ගත් සියලුම පුද්ගලයින් පාහේ දරුණු රෝගාබාධ වලට ලක් වුණා. අතපය කොර වුනා. හුස්ම ගැනීමේ අපහසුතා ඇති වුණා. ස්වසන පද්ධතියට හානිකර තත්ත්වයක් පැමිණෙමින් දරුණු රෝගාබාධවලට මුහුණ පාන්නට සිද්ධ වුණා.
මීනමාටා ඩිසීස් ලෙස ජපානය හඳුන්වපු මෙම රෝගී තත්ත්වය අන්තර්ජාලය ඔස්සේ සොයා බැලීමට කාට වුවත් අදටත් පුළුවන්. මේ තත්ත්වය නිසා අද වන විටත් ඇමරිකාව වැනි රටවල් ඒ රටවල ගර්භනී සමය ගත කරන කාන්තාවන්ට මාළු ආහාරයට නොගන්නා ලෙස දැනුම් දී තිබෙනවා. ඔවුන් කියා සිටින්නේ එදා සිදු වූ විපත රසදිය මාළුන් ඇසුරට පත් වීමේ බලපෑම අදටත් සුළු වශයෙන් හෝ ඇතිවිය හැකි බවයි. මේ මිනමාටා ව්‍යසනය ගැන ලියැවුණු ලිපියකි.
https://roar.media/sinhala/main/health-lifestyle/minamata-disease-japan
මන්ද ගර්භනී අවස්ථාවක රසදිය මුසු වූ මාළු වර්ග ආහාරයට ගත් විට හෝ යම් හෙයකින් රසදිය ශරීරගත වුවහොත් උපදින්නට සිටින දරුවා දරුණු ස්නායු රෝග තත්ත්වයන්ට මුහුණ දෙනවා.
ලංකාව තුළ රසදිය භාවිතය –
ලංකාව තුළ රසදිය භාවිතයෙන් පරීක්ෂණ කරන ඕනෑම කෙනෙකුට පුලුවන්. එහෙත් පොදුවේ රසදිය නිවසක තබා ගැනීම අතිශය භයංකරයි. එය සුළු වශයෙන් දිනපතා වාෂ්ප වනවා. කාමර උෂ්ණත්වයේ දී වාෂ්ප වීම කිසිම අවස්ථාවක සාක්ෂි සහිතව සාමාන්‍ය ජීවිතයේ ද පෙන්වා දිය නොහැකියි.
උදාහරණයක් විදිහට සල්ෆර් වැනි දෑ වාෂ්ප වන විට ගඳක් දැනෙනවා. නමුත් රසදිය කිසිම අවස්ථාවක ගඳක් සුවඳක් උෂ්ණත්ව වෙනස් වීමක් පාටක් පෙන්නුම් කරන්නේ නෑ . කාමර උෂ්ණත්වයේ තබා තිබෙන රසදිය දිනපතා සුළු වශයෙන් වාෂ්ප වනවා. එය ග්‍රහණය කරන හෝ යම් විදිහකින් සිරුරේ තැවරෙන විට සිරුරට ලැබෙන විනාශකාරී බලපෑම බලවත්.
තවත් කරුණක් වන්නේ සෙසු ලෝහ වාෂ්ප වීමේදී ඉහළ ට ඇදී යන ප්‍රමාණය වැඩියි නමුත් රසදිය බර වැඩි ලෝහයක් නිසා වාෂ්ප වීමේදී ඉහළ අහස දෙසට වාෂ්ප වන්නේ නෑ. අඩු උසක රසදිය වාෂ්ප වායුගෝලය රැඳී තිබීමේ හැකියාව තිබෙනවා.
යම් හෙයකින් තරමක් හෝ බිම හැරීමෙන් ඇඳුම් වල කොන්ක්‍රීට් වල ලී බඩු වල තැවරුන හොත් එය බුබුළු ලෙස කැඩී පොළොවේ පතිත වී තිබෙන්න පුළුවන්. එය ස්පර්ශ කිරීම අතිශය භයං කරයි. රසදිය තැවරුණ භාජන සේදීමේදී සෝදන ජලය සමග රසදිය ගලාගෙන යාමක් දක්නට පුළුවන්. ඒ ඔස්සේ පොළොවට හෝ ගංගා ජලයට හෝ එකතු වුවහොත් තත්ත්වය තවදුරටත් බරපතළයි. මොකද රසදිය ලෝහයක් ලෙස ම පවතින්නේ නෑ. එය විවිධ අණුවලට කැඩෙමින් විවිධ රසායනයන් නිර්මාණය කරනවා.
රසදිය මහවැලියට එකතු වුනොත්
අපි හිතමු රසදිය මුසු වූ ජලය මහවැලි ගඟට එකතු වුණා කියලා. එවිට එය ජලයේ රැඳී තිබෙනවා. නමුත් මහවැලි ගඟෙන් පානීය ජලය ලබා ගැනීමේදී පිරිසිදු කරන ක්‍රියාවලියේදී රසදිය පිරිසිදු කිරීමක් සිද්ධ වෙන්නෙ නෑ. වැනි ක්‍රමයක් ලංකාව තුළ නැහැ. එසේනම් ගංගා ජලය ලබා ගන්නා ජලයේ යම්තාක් දුරට හෝ රසදිය ඇත්නම් එය සෘජුවම මිනිස් සිරුර තුළට ඇතුළු වෙනවා.
ලංකාව තුළ කිලෝ ගණන් රසදිය තබා ගැනීම සපුරා තහනම්!
රසදිය භාවිතය වහාම නතර කළ යුතුයි. ලංකාව තුළ කිලෝ ගණන් රසදිය තබා ගැනීම සපුරා තහනම්. ලංකාව තුළ මෙලෙස රසදිය භාවිත කරන බව සාක්ෂි සහිතව හෝ ලෝකයේ වෙනත් රටවල් දන්නේ නම් ඉදිරියේ දී අපට වෙනත් ගැටලු වලට පවා මුහුණ දීමට සිදුවනවා. මොකද රට තුළ රසදිය පාවිච්චි කරනවාය යන්නත් වැරදි කටයුත්තක්.
අතීතයේ දත් පුරවනය dental feeling කටයුතුවලදී රසදිය භාවිත කළා. නමුත් දැන් එසේ සිදුවන්නේ නැහැ සාමාන්‍ය උණ බැලීම සඳහා භාවිත කරන උෂ්ණත්වමානයේ රසදිය බිඳුවක් තිබුණා. එය යම් හෙයකින් බිඳී නිවසක් තුළ ජීවත් වන පිරිස් වෙත අහිතකර බලපෑම් ගෙන දේවි යැයි සලකමින් උෂ්ණත්වමානය වෙනස් කරන්නට ඒ ඒ බලධාරීන් කටයුතු කළා.
සීඑෆ්එල් බල්බ් භාවිතයේදී කාමරයක් තුළ බල්බයක් ගියහොත් එම කාමරය දින කීපයක් වසා තබා එහි තුළ තිබූ ඇඳුම් ආයිත්තම් ගිනි තබන ලෙස දන්වා සිටීමට තරම් සෞඛ්‍ය අංශ කටයුතු සිදුකළා.
එවැනි පණිවිඩ ජනතාවට ලබා දුන්නේ මේ රසදියෙහි තිබෙන බලවත් විෂ සහ විනාශකාරී තත්ත්වය හේතුකොටගෙන යි.
එසේනම් රසදිය යනු අතිශය භයංකර පාවිච්චියට ඉතා නුසුදුසු හානිකර දායි ලෝහ වර්ගයක් බව තරයේ සිහි කරගැනීම වැදගත්.
නිර්මාණයක් කිරීමට ඇති කැමැත්ත සහ හැකියාව ඇති පමණින් එය ජාතියකට යහපතක් උපදවන්නේ නැත. එවැනි ශඛ්‍යතා ඇති “උනන්දුවන්“ සොයාගෙන ඔවුන්ව විද්‍යාත්මක පදනමක පිහිටුවා දැනුම්වත් කිරීම හා නියාමනය කිරීම රටකට අවශ්‍ය වන්නේ එබැවිනි.
ඒ කටයුත්ත නොකර ගම්පොල ගැමියාට ගල් ගැසීමට පෝලිමේ එන මිනිස්සුන්ටත්, සංවර්ධනාත්මක විවේචනයක් නොකර ස්වකීය විද්වත් භාවයේ මහන්තත්තවය පෙන්වීමට උත්සාහ කරන ඇරියස් කරුවන්ටත් ඒ සඳහා අවස්ථාව මෙය නොවන බව කාරුණිකව සිහි ගැන්විය යුතු බව විශ්වාස කරමු.
සාමුහිකව වැළලෙන්නට යන රටේ ඔයා ඉතිරි වී මා පමණක් වැළලෙන්නේ නැත. වලෙන් ගොඩ එන්නට උත්සාහ දරන්නවුන් අතින් සිදුවන අඩුපාඩු ඉවසීමට තරම් මේ අවස්ථාවේ හෝ සංයමයක් තිබිය යුතු වන්නේ එබැවිනි.
සංවාදයට පාදක වුණු නිර්මාණය සම්බන්ධ ලිපිය…
රසදියෙන් විදුලිය උපදවන පුංචි බලාගාරයක් හැදූ ගම්පොල ගැමියා… ගෙවල් 07ක ට විදුලිය…







