අද සිට විදුලි බිල ඉහළ යනු ඇති බවට රජයේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් අද රැස්වන කැබිනට් මණ්ඩලයේ අනුමැතියට සංශෝධිත විදුලි ගාස්තුව සම්බන්ධව කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් වීමට නියමිතව තිබේ.
වසර නවයක් පුරා පැවති විදුලි මිල ගණන් සංශෝධනය කිරීමට විදුලිබල මණ්ඩලය ඉල්ලීම් කර තිබිණි. මහජන උපයෝගීතා කොමිෂන් සභාව ද විදුලි බිල වැඩි කිරීම සම්බන්ධයෙන් යම් යෝජනා ඉදිරිපත් කර කළේය.
විනිමය අර්බුදය, ඉන්ධන තොග සීමිතවීම හා දෛනික විදුලි කප්පාදුව හේතුවෙන් විදුලිබල ක්ෂේත්රය මේ වන විට දැඩි අර්බුදකාරී තත්ත්වයකට පත්වෙමින් තිබෙද්දී විදුලි ඒකකයක නිශ්පාදන පිරිවැය ඉහළ යෑම හේතුවෙන් ලංකා විදුලිබල මණ්ඩලය දෛනිකව ලබන පාඩුව ද ඉහළ යමින් ඇතැයි විදුලිබල මණ්ඩලය මින් පෙර පෙන්වා දී තිබිණි.
එම යෝජනා මත පදනම්ව මෙම කැබිනට් පත්‍රිකාව අද ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
වැඩි විදුලි පරිභෝජනයක් සහිත ක්ෂේත්‍ර සඳහා විදුලි ගාස්තු ඉහළ දැමීමට විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පසුගිය සතියේ යෝජනා කළේය.
මෙරට මාසික විදුලි පරිභෝජනය ඒකක 30ට අඩු මෙරට විදුලි පාරිභෝගිකයින් සංඛ්‍යාව ලක්ෂ 18ක් බවත් අඩු ආදායම්ලාභී සහ අඩුවෙන් විදුලිය භාවිතා කරන පිරිස්වලට බලනොපාන අයුරින් විදුලි බිල සංශෝධනය කළ යුතු බවත් විදුලි බල හා බලශක්ති ඇමති කාංචන විජේසේකර ඉකුත් සතියේ බීබීසී සේවයට පවසා තිබිණි.
ඔහු කීවේ පසුගිය කැබිනට් මණ්ඩලය ද මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර විදුලි බිල සංශෝධනය සම්බන්ධව ජනාධිපතිවරයා දැනුවත් කළ බවය.
එහිදී අඩු ආදායම්ලාභී පවුල්වලට සහ විශේෂයෙන්ම රජයේ රෝහල් වැනි ගොඩනැගිලිවලට මේ අවස්ථාවේ දී විදුලි බිල සංශෝධනය නොකළත්, විදුලි ඒකක විශාල ප්‍රමාණයක් භාවිතා කරන කර්මාන්ත සහ හෝටල් සඳහා යම් ගාස්තු සංශෝධනයක් මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ අනුමැතිය සහ කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ඇතිව කළයුතු බව ඇමතිවරයා පෙන්වා දී තිබිණි.
වර්තමාන විදුලි බිල සංශෝධනය වුවහොත් මහා පරිමාණ කර්මාන්තවලට, හෝටල්වලට හෝ මහා පරිමාණයෙන් විදුලිය භාවිතා කරන නිවාසවලට විදුලි බිල තුන් ගුණයකින් හෝ හතර ගුණයකින් වැඩිවීමට ඉඩ තිබෙන බව කී අමාත්‍යවරයා මින් පෙර දන්වා තිබිණි.







