නීතිපති දෙපාර්තමේන්තුව විසින් රුපියල් විසි කෝටි අසූ ලක්ෂයකට තක්සේරු කළ මල්වාන සුඛෝපභෝගී නිවස සහ අක්කර 16ක ඉඩමට මේ වනවිට කිසිවෙක් හිමිකම් නොකියන බැවින් එම දේපල ප්රසිද්ධ වෙන්දේසියේ විකිණීමට පූගොඩ මහේස්ත්රාත් අධිකරණය නියෝග කර තිබේ.
එසේ විකුණා අත් කරගනු ලබන මුදල පූගොඩ මහේස්ත්රාත් අධිකරණය භාරයට ගන්නා ලෙසත් අධිකරණය නියෝග කර ඇත.
අක්කර 16ක් පුරා පැතිරුණු ගොවිපල සහ නාන තටාගයක් සහිත සුඛෝපභෝගී නිවස ඇතුළත් මේ දේපල පිළිබඳව අධිකරණයේ නඩුව ගොනුවූ අවස්ථාවේ සිට ඊට හිමිකම් කීමට කිසිවෙක් ඉදිරිපත් වී තිබුණේ නැත.
නඩුව විභාගයට ගන්නා අතරවාරයේ දී මෙම නඩුවේ ප්රධාන විත්තිකාර බැසිල් රාජපක්ෂ අධිකරණය හමුවේ දැරූ ස්ථාවරය වූයේ තමාට මෙම ඉඩමේ කිසිම අයිතිවාසිකමක් නොමති බවය.
රුපියල් හයකෝටි අසූ ලක්ෂයකට මිලදී ගෙන තිබුණු අක්කර 16ක ඉඩමේ ලියාපදිංචි අයිතිය තිබුණේ මුදිත ජයකොඩි නැමැත්තෙකුටය . ඔහුත් අධිකරණයට කීවේ ඉඩම ඔහුගේ නොවන බවය.
වර්ෂ 2017 මැයි මස 03 වැනිදා මෙම දේපල සම්බන්ධව බැසිල් රාජපක්ෂ සහ තිරු නඩේෂන් යන අයට ගම්පහ මහාධිකරණය අධිචෝදනා ගොනු කළේය. වසර පහක් තිස්සේ නඩුව ඇසෙමින් පැවතිනි. අද නඩුව විසි වුනේය. බැසිල් රාජපක්ෂ සහ තිරු නඩේසන් නිදොස්කොට නිදහස් වුනේය.
කිසිවෙක් හිමිකම් නොකියන මල්වානේ නිවස සහ ඉඩම ඉතිරි වී ඇත්තේය. අධිකරණ නියෝග මත එය ප්රසිද්ධ වෙන්දේසියේ විකිණෙන තුරු දැන් රට බලාගෙන ඉන්නේය.







