පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශන නිසි පරිදි සිදු නොවන බවට කරන ප්‍රකාශය තමන් ප්‍රතිෂේප කරන බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න අද ( 12 ) යළිත් ප්‍රතික්ෂේප කළේය.
වර්ෂ 2019 පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවල ප්‍රගතිය හෙළි කිරීමේ විශේෂ මාධ්‍ය හමුවේදී ඔහු මේ බව ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකා ආරක්ෂක ලේකම් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න සහ පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මෙම මාධ්‍ය හමුව ඇමතූහ.
විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න පැවසුවේ 2019 පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයන් 735 දෙනා අතර පුද්ගලයින් 196 දෙනෙකු තවමත් රක්ෂිත බන්ධනාගාරගතව සිටින බවය.
ඔවුන්ගෙන් 79 දෙනෙකුට එරෙහිව චෝදනා 25,653ක් යටතේ නඩු 27ක් පවරා ඇති බවත් ආරක්ෂක ලේකම්වරයා පැවසීය.
එමෙන්ම පුද්ගලයින් 81 දෙනෙකුට එරෙහිව නඩු පවරා ඇති අතර 493 දෙනෙකු ඇප මත මුදා හැර ඇති බව ඔහු පෙන්වා දුන්නේය.
මේ අතර, 2019 පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවන්ගෙන් රුපියල් මිලියන 365 ක වත්කම් රාජසන්තක කර ඇති බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ කීවේය.
සැකකරුවන් සන්තකයේ තිබී රුපියල් මිලියන 165ක රත්තරන් සහ මුදල් ද අත්අඩංගුවට ගෙන ඇති බව ඔහු වැඩිදුරටත් පැවසීය.







