ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිට පිහිටුවා ඇති බිඳුණු පුටුව සහිත ස්මාරකය මේ රටේ මිනිස්සුන්ට අමතක නැත.
ස්විට්සර්ලන්ත චිත්‍ර ශිල්පී ඩැනියෙල් බර්සෙට් විසින් සැලසුම් කර ප්‍රකට වඩු කාර්මික ලුවී ජෙනීව් විසින් ඉදිකරන ලද බිඳුණු පාදයක් සහිත මෙම දැවමය මූර්තිය ලෝකයම සංවේදී කළ නිර්මාණයකි.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ දී යුධ අපරාධ චෝදනා එල්ලවන විට මේ රටට ආදරය කරන මිනිස්සු රැස් වී උද්ඝෝෂණය කළ අරගල භූමිය එතැනය.
අධිරාජ්‍යයකට එරෙහිව රට වෙනුවෙන් ලෝකයට හඬ නැගූ භූමිය එතැනය.
එදා රට වෙනුවෙන් හඬ නැගූ ඒ මිනිස්සුම අති බහුතරයක් යළිත් ඊයේ (10) එම ස්මාරකය අසලට එක් වූහ.
ඒ ගෝටාට ගෙදර යන්නයැයි කියන්නටය.
“ අනාගතේ පොඩි එවුන්ට – ඉන්න රටක් ඉතිරි කරමු“
“ මහත්තයෝ මේ අහන්න – ඔයාට බෑ ගෙදර යන්න…“
“ රට චීනෙට උකස් කරලා – ඇමරිකාවෙ ගෙවල් හදපු
රාජපක්ෂ පවුලෙ උන්ට – ගාණක් නෑ අද රට ගැන“
අතිශය සංයමකින් විරෝධතාවය ප්‍රකාශ වෙමින් තිබිණි. මෙම අවස්ථාවට යුරෝපයේ ජීවත්වන විද්වත් වෘත්තිකයින් ගණනාවක් සම්බන්ධ වී සිටියේය.
මෙම අරගලය කරන ශ්‍රී ලංකාවේ සාමාන්‍ය ජනතාවට සහයෝගය පල කරන නිහඬතාවයක් ද ප්‍රකාශ කරමින් ඔවුන් කියා සිටියේ ලෝකයේ කොතැන සිටියත් ඔවුන් මේ වනවිට මගට බැස සිටින මේ රටේ අරගලකරුවන් සමග බවය.









