පවතින දරුණුතම ආර්ථික අර්බුදය මධ්‍යයේ ශ්‍රී ලංකාව අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආනයනය කිරීම සඳහා ඉන්දියාවෙන් තවත් ඩොලර් බිලියන 1.5 ක අතිරේක ණය මාර්ගයක් ඉල්ලා ඇති බව මහ බැංකු අධිපතිවරයා අද (28) රොයිටර් පුවත් සේවයට ප්‍රකාශ කර තිබේ.
ශ්‍රී ලංකාවේ සංචාරයක යෙදෙන විදේශ ඇමති එස්.ජෙයශංකර් සමග කරන සාකච්ඡාව අතර ඉන්දියාවෙන් මෙම ණය මුදල ඉල්ලා ඇත්තේ සහල්, තිරිඟු පිටි, ඇට වර්ග, සීනි සහ ඖෂධ වැනි අත්‍යාවශ්‍ය භාණ්ඩ ආනයනය කිරීම සඳහා බව රොයිටර් පුවත් සේවය පෙන්වා දෙයි.
වසර දෙකක් තුළ විදේශ විනිමය සංචිත 70% කින් පහත වැටීමෙන් පසු මිලියන 22 ක ජනතාවක් සිටින රටට අත්‍යවශ්‍ය ආනයන සඳහා මෙම ණය මුදල ඉල්ලා තිබේ.
රොයිටර් වාර්තාව අනුව ශ්‍රී ලංකාව මෙම ඩොලර් බිලියන එකයි දශම පහක ණය මුදල අපේක්ෂා කරන්නේ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මේ මස මුලදී නව දිල්ලියට ගිය අවස්ථාවේ සාකච්ඡාකර ලබා ගත් ඩොලර් බිලියන 1 ක ආධාරයට අමතරවය.
කෙසේ වෙතත් මෙම ඉල්ලීමට තවමත් ඉන්දියාව ප්‍රතිචාර දක්වා නැතැයි රොයිටර් වාර්තා කරයි…