පාර්ලිමේන්තුවේ රජයේ මුදල් පිළිබඳ මුල් කාරක සභාවට ඊයේ දිනයේදී පෙනී නොසිටි මහ බැංකු අධිපතිවරයා ඇතුළු නිලධාරීන්ට ලබන මස අප්‍රියෙල් පළමුවැනිදා යළි එම මුදල් කාරක සභාවට පැමිණෙන ලෙස දැනුම් දී ඇති බවත් යම් හෙයකින් එම දිනයටද ඔවුන්ට ඊට පැමිණීමට නොහැකි වුවහොත් පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුව හමුවට කැඳවීමට අවශ්‍ය පියවර ගැනීමට සිදුවන බව පාර්ලිමේන්තුවේ මුදල් කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර ප්‍රියදරශන යාපාන ලංකාසරට පැවසීය.
රටේ පවතින වත්මන් ආර්ථික තත්ත්වයට අදාලව කරුණු විමසීම සඳහා රජයේ මුදල් පිළිබඳ කාරක සභාව වෙත කැඳවනු ලැබූ මහ බැංකු අධිපතිවරයා, මහබැංකුවේ උසස් නිලධාරීන් සහ මුදල් මණ්ඩලයේ සාමාජිකයන් එම කාරක සභාවට සහභාගී නොවීම සම්බන්ධව සිය කනස්සල්ල පළ කළ ප්‍රියදර්ශන මන්ත්‍රිවරය ඊළඟ කැඳවන දිනයේදීවත් ඔවුන් පැමිණෙනු ඇතැයි තමන් විශ්වාස කරන බවද පැවසීය.
මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා ඇතුළු මහබැංකුවේ උසස් නිලධාරීන් සහ මහබැංකුවේ මුදල් මණ්ඩලයේ සෙසු සාමාජිකයන් වන භාණ්ඩාගාර හා මුදල් අමාත්‍යංශ ලේකම් එස්.ආර්.ආටිගල, ජනාධිපති නීතීඥ සංජීව ජයවර්ධන, ආචාර්ය රාණි ජයමහ සහ සමන්ත කුමාරසිංහ යන මහත්ම මහත්මීන් මෙලෙස රජයේ මුදල් පිළිබඳ කාරක සභාව වෙත කැඳවා තිබිණි.
මහබැංකුවේ මුදල් මණ්ඩලයේ සාමාජික භාණ්ඩාගාර හා මුදල් අමාත්‍යංශ ලේකම් එස්.ආර්.ආටිගල මහතාට ලෝක බැංකුව සමග සාකච්ඡාවක් යෙදී ඇති බැවින් සෙසු සාමාජිකයන්ටද අද (24) දින කාරක සභාවට සහභාගී වීමට නොහැකි බවත් ඒ සඳහා වෙනත් දිනයක් ලබා දෙන ලෙසත් දන්වා ලිපියක් මහබැංකුව විසින් රජයේ මුදල් පිළිබඳ කාරක සභාව වෙත එවනු ලැබ තිබිණි.
රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ මෙම රැස්වීම පසුගිය සඳුදා (21) රැස්වීමට නියමිතව තිබූ අතර මහබැංකු නිලධාරීන්ගේ ඉල්ලීම මත එය අද දිනය දක්වා (24) කල් තබා තිබිණි.
රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සාමාජික මන්ත්‍රීවරයන්ගේ අදහස වූයේ මහබැංකුවේ මෙම ක්‍රියාකලාපය පාර්ලිමේන්තුවට සිදු කරන අගෞරවයක් බවයි. මෙහිදී සභාපතිවරයා දැනුම් දුන්නේ මේ පිළිබඳ සොයා බලන ලෙස කථානායකවරයාට පැමිණිල්ලක් කිරිම සුදුසු බවයි.
රජයේ මුදල් පිළිබඳ කාරක සභාව විසින් මෙම රැස්වීම නැවතත් අප්‍රෙල් පළමුවැනිදා කැඳවීමට තීරණය කරන ලදී. මෙම රැස්වීමට රාජ්‍ය අමාත්‍යවරයන් වනඉන්දික ගරු අනුරුද්ධ, ගරු කංචන විජේසේකර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන විජිත හේරත්, මහාචාර්ය රන්ජිත් බණ්ඩාර, නලීන් ප්‍රනාන්දු, හර්ෂ ද සිල්වා සහ මුජිබර් රහුමාන් යන මහත්වරු සහභාගී වූහ.







