මනම්පිටිය නිමල් ජයරත්න –
පොලොන්නරුව වැලිකන්ද කාලිංගවිල ප්රදේශයේදී අද (17 ) අලුයම ඉසඩ් .ඩී ප්රධාන ඇළට වැටී සිටි අලි දෙදෙනෙකු ගොඩට පැමිණීමත් සමඟ ඉන් එක් අලියෙකු අසල තිබූ යතුරු පැදියට පහර දී විනාශ කර කාලිංගවිල රක්ෂිතයට පලා ගිය බව වැලිකන්ද වනජීවී නිලධාරීහු සඳහන් කළහ.

බීමට ජලය සොයා පැමිණි එම අලි දෙදෙනා වැලිකන්ද මෛත්රීගම ප්රදේශයෙන් ඉසෙඩ්. ඩි. ඇළට අළුයම වැටී ඇති අතර වැලිකන්ද වනජීවී නිලධාරීන්, සිවිල් ආරක්ෂක නිලධාරීන් හා ප්රදේශ්වාසීන් එක්ව එම අලි දෙදෙනා ගොඩගැනීම සඳහා පැය දෙකක පමණ මෙහෙයුමක් ක්රියාත්මක කර ඇත.
එක් අලියෙකු ඉසෙඩ්. ඩි. ඇලේ කොන්ක්රීට් පඩිපෙළ හරහා ගොඩට විත් කාලිංගවිල රක්ෂිතයට පලා ගිය අතර, අනිත් අලියා ගොඩගැනීමට වනජීවී නිලධාරීන් මෙන්ම සිවිල් ආරක්ෂක බලකාය සූදානම් වීමත් සමග තවත් යකඩ පඩිපෙළකින් ගොඩට පැමිණි අලියා යතුරු පැදියට පහරදී අලිවැට කඩාගෙන කාලිංගවිල රක්ෂිතයට පලා ගියේය,

වනජීවී නිලධාරීන් පැමිණි කැබ් රථය පිටුපස එම අලියා ලුහුබැද යන්නට උත්සාහ කිරීමටත් සමඟ අහසට වෙඩි තබා එය මෙල්ල කිරීමට වනජීවී නිලධාරීන් සමත් වූ අතර, අනතුරුව අලියා කාලිංගවිල රක්ෂිතයට ගොස් ඇත.
මෙම අලි දෙදෙනා ඉසෙඩ්. ඩි. ඇළට අද අලුයම පහට පමණ වැටී ඇති අතර අලි දෙදෙනාම ගොඩගැනීම සඳහා පැය තුනක මෙහෙයුමක් ක්රියාත්මක වි තිබේ.







