මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මේ වනවිට සිටිනුයේ දිල්ලි නුවරය. ඔහුගේ පසුගිය දිල්ලි සංචාරයෙන් පසුව යළි යාමට සූදානම්ව සිටි දිල්ලි ගමන දෙවරක් කල් දැමීමෙන් පසු තෙවන වර දිල්ලි ගමනාන්තය වෙත ගොස් ඇත. ඒ කවර හේතුවකටදැයි මේ වනවිට ලෝකයේම සිටින ශ්‍රි ලාංකිකයන් ඇතුළු මේ ගැන උනන්දුවක් දක්වන්නන්ට දැනීමක් ඇත.
බොහෝ අය මේ ගමන දෙස බලා සිටින්නේ ඇතැම් විට අධි තක්සේරුවක්ද සමඟය. එය වැරැද්දක් නොවන්නේ මිනිසුන් ලෙස ශ්‍රි ලාංකිකයන් මේ දිනවල මුහුණ දෙන මේ වනවිට ශ්‍රි ලංකාවේ ජනතාව ගෙවන අතිශය දුක්ඛදායක වූ අත්දැකීම් පෙළ නිසාය. ඔවුන් මේ මොහොතේ සිතාගෙන සිටින්නේ බැසිල් ඉන්දියාවේ ගිහින් අරන් එන සල්ලිවලින් තාවකාලික හෝ සුවයක් ලද හැකි නිසා බවය. ඩීසල් පෙට්‍රල් පෝලීම්වලට අමතරව මේ වනවිට රට තුළ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ජනතාවට ළඟා කර ගත නොහැකි මට්ටමට ඉහළට ගොස් ඇත.
ඉන්දියාව මේ වනවිටත් ඇමෙරිකානු ඩොලර් මිලියන 500ක ණය යෝජනා ක්‍රමයක් ඉන්ධන මිල දී ගැනීම සඳහා වෙන් කර ඇත. එයට අමතරව තවත් ඇමෙරිකානු ඩොලර් මිලියන 500ක මූල්‍ය හුවමාරු ණයක් මෙන්ම අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහ ඖෂධ ලබා ගැනීම සඳහා ඇමෙරිකානු ඩොලර් බිලියනයක ණය යෝජනා ක්‍රමයක්ද ඊට අමතරව තවත් ඩොලර් බිලියනයක ණයක් පිළිබවද එකඟතාව පළ කර ඇත. බැසිල් රාජපක්ෂ මේ ගමන ගියේ මේ අවසන් වරට කියවුණු ඇමෙරිකානු ඩොලර් බිලියනයේ ණය පිළිබඳ ව සාකච්ඡා කිරීමට බව සඳහන් වෙයි.ඒ අනුව බලන කල අසල්වැසි ඉන්දියාව මේ වනවිට කලාපයේ ප්‍රබලයා ලෙස සැලකිය යුතු කාර්යයක් ශ්‍රි ලංකාව වෙනුවෙන් ඉටු කර ඇත.
ඉන්දියාව මේ අයුරන් කටයුතු කළේ කලක් නරේන්ද්‍ර මෝදි අගමැතිවරයා හෝ ඉන්දීය රජය පයිසයකටවත් ගණන් නොගෙන චීන වන්දනය ප්‍රමුඛ දුර්වල රාජ්‍ය තාන්ත්‍රීය හැසිරීමක් තුළ ඉන්දියාවේ සිත් රිදවූ පාලකයින් සහිත රාජ්‍යයකටය. මේ ගැන සිරස සම්මුඛ සාකච්ඡාවකට පැමිණි හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ කතා කළේ පැවැති ප්‍රශ්න අනුව මේ විදිහට වත් ඉන්දියාව අපට උදව් කිරීම පිළිබඳ ව තමන් සතුටට පත් වන බවය. හේතුව මෙම රජය පසුගිය කාලය තුළ ක්‍රියා කළ ඉන්දියාවට මිතුරු නොවන රාජ්‍ය තාන්ත්‍රික ගනුදෙනු නිසාය. ඔහු මෙහිදී සෘජුව බොහෝ දේ සඳහන් නොකළද චීනය සමඟ පැවති ඕනෑවට වඩා දුර දිග ගිය සබඳකම් සහ එයින් ඉන්දියාවට ඇතිවන අහිතකර බලපෑම් ගැන වචනයක් දෙකක් බැරෑරුම් ව කතා කළේය.
ඉන්දියාව සහ ශ්‍රි ලංකාව ගෝලීය පිහිටීම මත ඉන්දියාවේ බලපෑමෙන් අපට මිදෙන්නට නොහැකිය.එය ඇතැම් විට යහපත් විය හැකිය. ඇතැම් විට අයහපත් විය හැකිය. ශ්‍රි ලංකාව අද ව්‍යවස්ථාපිතව ආරක්ෂා කරන බුදු දහම පැමිණියේ ඉන්දියාවෙනි. ඒ සඳහා ශ්‍රි ලංකාව බෞද්ධ සංස්කෘතියක් මෙරට ජනතාවගේ ජාන දක්වා කාන්දු වී ඇත. ඒ ආකාරයටම ඉන්දීය ආක්‍රමණයන්ද ශ්‍රි ලංකාවට විවිධ අහිතකර බලපෑම් ඉතිහාසය පුරා සිදුව ඇත. මේ සියල්ල සම බැඳී ඇති මූලික ම සාධකය ශ්‍රි ලංකාවේ භූ ගෝලීය සාධකයයි. අද උතුරේ ධීවර ප්‍රශ්නයට හේතුවක් වන්නේ ද මෙකී භූ ගෝලීය සාධකයමය. එහිදී දෙරටේම අදාළ නිතිය ක්‍රියාත්මක කරන අංශ යම් ඒකාබද්ධ වීමකින් මේ ගැටලුව දෙපාර්ශ්වයටම අගතියක් නොවන තැනකින් විසඳා ගත හැකිය.
හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ පවසන පරිදි ශ්‍රි ලංකාව වෙනත් රාජ්‍යයක් සමඟ කවර හෝ ගනුදෙනුවක් කරද්දී එය ඉන්දියාවේ ආරක්ෂාවට අගතියක් නොවන තැනකට කටයුතු යෙදීම සිරිතක් කර ගත යුතු බවය. මෙහිදී ඔහු සඳහන් කළේ ඉන්දියාවේ නිබඳ අවධානයට ලක් වන චීනයට විවිධ ක්‍රියාකාරකම් සඳහා ශ්‍රි ලංකාව කටයුතු කිරීමට දෙන ආකාරය අනුව විය යුතුය. මේ පිළිබඳව ප්‍රාමාණික අවබෝධයක් අපගේ රාජ්‍ය තාන්ත්‍රිකයන්ට තිබුණද ඔවුන් අභිභවා යන ඇතැම් බලපෑම් හේතුවෙන් එම තත්ත්වය ට යම් අයහපත් බලපෑම් සිදුව ඇති බව ඔහු ගේ කතාවෙන් ප්‍රකාශ වෙයි.
දකුණු ආසියානු කලාපය සැලකුවහොත් මේ වනින දේශපාලනික වශයෙන් සාර්ථක වූ නායකත්වයක් ලෙස ඉන්දියානු අගමැතිවරයා සැලකිය හැකිය. ඔහුට ඉන්දියාව පිළිබඳව ඉවක් දැක්මක් සහිත චරිතයකි. මේ වනවිට පැවැත්වෙන ප්‍රාදේශීය මැතිවරණ තුළ ඔහු ලබන ජයග්‍රහණ ඒ පිළිබඳව සාක්ෂි දරයි. ඔහුගේ මේ දැක්ම තුළ කලාපය තුළ යම් ස්ථාවරත්වයක් ගොඩ නගා ගැනීමේ වැඩපිළවෙළක්ද ඇත. එය රටක නායකයකු සතුව තිබිය යුතු ගුණයකි. මේ ක්‍රියාදාමය තුළ අසල්වැසි රාජ්‍යයන් සමග සුහදත්වය මිත්‍රශීලීත්වය පවත්වාගෙන යාම ඔවුන්ට අතිරේක වාසියකි. මෝදි අගමැතිවරයා (නේබර් ෆස්ට්) අසල්වැසියාට පළමුව යන ප්‍රතිප්තිය මත පිහිටා කලාපයේ රටවලට තමන්ට හැකි ආධාර ලබා දෙන්නේද ඒ වැඩපිළිවෙළේ අංගයක් ලෙසින්ය.
ඉන්දියාව කලඹමින් පැතිරුණු කොවිඩ් අර්බුදය නිසා සාර්ථක කර ගන්නට නොහැකි වුවද කොවිඩ් වසංගතය හමුවේ පළසු එන්නත් තොගය ශ්‍රිලංකාවට පරිත්‍යාග කළේ ඉන්දියාව බව බොහේ දෙනකුට අමතකය. එසේම කොවිඩ් රෝගීන්ට ඔක්සිජන් අවශ්‍යතාව තදින් මතුවූ මොහොතේ හසිදි ඔක්සිජන් සැපයුමක් ක්ෂණිකව ලබා දුන්නේ ඉන්දියාවෙනි. කොවිඩ් රෝගීන් රෝහල්වලට ගෙන යාමේදී දැවැන්ත කාර්යක් කළ 1990 ගිලන් රථ සේවාව ලැබුණේ ඉන්දීය රජයේ ණය ආධාරයක් නිසාය. හෙට අනිද්දා වනවිට ඩීසල් පෙට්‍රල් පෝලිම් අවම කිරීමට අවශය තෙල් ටික එන්නේද ඉන්දියාවෙනි. එමෙනම් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සඳහාද ඩොලර යණ සහනයක් ලැබීමට අවශ්‍ය කටයුතු මේ වනවිට සිදුවෙමින් පවතින බව රාජ්‍ය තාන්ත්‍රික ආරංචි මාර්ග සඳහන් කරයි.
මීට අමතරව මීට මාස කිහිපයකට කලින් හදිසි අත මාරුවකට දුන් ඩොලර් මිලියන 500 ණය ආපසු ගෙවීමේ කාල සීමාව දිගු කිරීමටද මේ වනවිට ඉන්දියාව කටයුතු කර ඇත.
ඒ අනුව බලන කල ශ්‍රි ලංකාව ගොඩ දාන්නේ යයි බලාපොරොත්තු වන අනෙක් “සුදු හම් ආසියාතිකයා“ට සාපේක්ෂව ඉන්දියාව යම් කැපවීමක් මේ වනවිට සිදු කොට ඇත.
ශ්‍රි ලංකාවට මේ වනවිට පවතින දැවැන්ත අර්බුදයක් වන්නේ බලශක්තියයි. ගෙදර ස්විචයක් දැමූ විට ආලෝකය එන විට ඊට වඩා දෙයක් නොසිතූ ශ්‍රි ලංකාවට දැන් විදුලිය බලශක්තිය පිළිබඳව දැඩිව දැනෙන්නට පටන් ගෙන ඇත්තේ රටේ ආර්ථිකය තවදුරටත් වළ පල්ලට යවමින් සිදුවන විදුලිය කප්පාදුව නිසාය. රටේ අවශ්‍යතාව සඳහා වැඩිවන ඉල්ලුම සමඟ මේ රට බලශක්ති ආයෝජන අවශ්‍යමය. මේ සඳහා රාජ්‍ය පෞද්ගලික හවුල්කාරීත්වය යටතේ මෙන්ම පෞද්ගලික ව්‍යාපෘති සඳහාද මේ මොහොතේ දැවැන්ත ආයෝජන අවශ්‍යය. රජය වසර 2030 වනවිට මෙරට බලශක්ති උත්පාදනයෙන් සියයට 30ක් පුනර්ජනනීය බලශක්තිය මත යැපෙන්නට බලාපොරොත්තු වන තත්ත්වයක් තුළ මේ සඳහා ගුණාත්මක බවින් ඉහළ ව්‍යාපෘති සඳහා දැවැන්ත ආයෝජන අවශ්‍යය. සාම්පූර් හි ඉදි කිරීමට යේජිත පුනර්ජනනීය විදුලිය බලාගාරයට ඉන්දීය රජයේ බලශක්ති ආයතනයක් වන එන්.ටී.සී සහ ලංකා විදුලි බල මණ්ඩලය එක්ව පිහිටවූ හවුල් ව්‍යාපාරයකින් එම බලාගාරය ඉදි කිරීමට නියමිතය. මීට අමතරව දැවැන්ත සූර්ය බල ව්‍යාපෘතියකට මේ වනවිට ඉන්දීය ආයෝජකයකු වන අදානි සමාගම ඉදිරිපත්ව ඇත.
ශ්‍රි ලංකාව අද පවතින විදේශ විනිමය අර්බුදය මැද පවා ඩොලර් හොයන්නට සංචාරක ව්‍යාපාරයෙනි. සංචාරක කර්මාන්තයට ඉන්දියානු සංචාරකයටන් හොඳ වෙළෙඳපොලකි. එසේම දිනෙන් දින දියුණු වන ඉන්දීය මධ්‍යම පන්තිය ශ්‍රි ලංකාවට අනන්‍ය නිෂ්පාදන සඳහා ආකර්ෂණීය වෙළෙඳපොළක් නිර්මාණය කර ගත හැකිය. ඒ සඳහාද ඉන්දියාව ශ්‍රි ලංකාවට සහය දෙනු ඇත. ලැබෙන සහය ක්‍රමෝපායයිකව හසුරුවා ගැනීමට ශ්‍රි ලංකාවේ නායකයින්ද මෝදි වගේම දක්ෂ විය යුතුය.







