ඉන්දියානු ණය සහන යෝජනා ක්‍රමය යටතේ මෙරටට ගෙන්වන ලද දුම්රිය එන්ජින් ශ්‍රි ලංකාවේ මාර්ග පද්ධතියට ඔරොත්තු නොදෙන මට්ටමේ බරපතල ඒවා බවත් එම දුම්රිය මෙරට දුම්රිය මාර්ග පදධතියේ සීමිත ප්‍රදේශයක පමණක් ධාවනය කළ හැකි ඒවා බවත් දුම්රිය ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙම එන්ජින් විශාල පෙට්ටි සංඛ්‍යාවක් ඇදගෙන යා හැකි සේ සකස් කළ ටොන් 120ක බරින් යුතු එන්ජින්වන අතර දැනට පැරණි කැලණි පාලමේ එවැනි එන්ජින් සහිත දුම්රිය දෙකකට මාරු වීමට පවා නොහැකි තරම් අවදානම් සහගත බවත් මේ වනවිට දුම්රිය විශේෂඥයන් විසින් හඳුනා ගෙන ඇතැයි එම ආරංචි මාර්ග සඳහන් කළේය.
ඉන්දියාවේ ශ්‍රි ලංකාවට ගැලපෙන මට්ටමේ ඊට වඩා සැහැල්ලු දුම්රිය එන්ජින් නිෂ්පාදනය වෙද්දී මෙම බරපතල එන්ජින් ගෙන්වීම ගැටලුකාරී තත්ත්වයක් ව ඇති බවත් මේ වනවිටත් එලෙස ගෙන්වූ දුම්රිය එන්ජින්වල යම් යම් දෝෂ සහිත තත්ත්වය නිරීක්ෂණය වීම නිසා ධාවනය නොවන බවත් මෙම ආරංචි මාර්ග සඳහන් කළේය.
ඔවුන්ට අනුව මෙම දුමරිය එන්ජින් ධාවනය කළ හැක්කේ මුහුදු බඩ මාර්ගයේ හික්කඩුව දක්වා පමණක් වන අතර උතුරු දුම්රිය මාර්ගයේ පමණක් කන්කසන්තුරේ දක්වා ධාවනය කළ හැකිය.
එසේ වුවද ප්‍රධාන මාර්ගයේ රඹුක්කනට පමණක් ධාවනය කළ හැකි වන අතර මඩකලපුව සහ පුත්තලම් දුම්රිය මාර්ගයේද මෙම එන්ජින් ධාවනය කළ නොහැකි බව දුම්රිය බලධාරීන් වටහාගෙන ඇත්තේ ඒවා ගෙන්වීමෙන් අනතුරුවය.
පසුගියදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ද ප්‍රවාහන ක්ෂේත්රයේ බලධාරීන් සමඟ කළ සාකච්ඡාවකින් පසුව ඔවුන්ට උපදෙස් දී තිබුණේ ධාවනයට මෙතෙක් එක්කර ගෙන නොමැති එන්ජින් සහ දුම්රිය පෙට්ටිය හැකි ඉක්මනින් ධාවනයට එක් කිරීමට කටයුතු කරන ලෙසය. ඒ අනුව මේ වනවිට එම දුම්රිය පෙට්ටිවලින් 51ක් පමණ ධාවනයට එක් කර ඇති බව වාර්තා වන අතර සෙසු දුම්රිය පෙට්ටිද ඉදිරියේදී ධාවනයට එක් කිරීමට සූදානම් කෙරෙමින් පවතින බව සඳහන් වේ.
මේ පිළිබඳව ලංකාසර කළ විමසීමකදී දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර ප්‍රකාශ කළේ ශ්‍රි ලංකාවේ දුම්රිය මාර්ග පද්ධතියට සකස් කර ඇත්තේ ටොන් 120ක එන්ජිමක් දරා ගත හැකි ආකාරයට බවය.
කෙසේ වුවද මෙම එන්ජින් ගමන් කළ නොහැකි මාර්ගද පවතින බව සාමාන්‍යාධිකාරීවරයා සඳහන් කළේය.
කැලණි පාලමේ මෙම දුම්රිය දෙකක් ධාවනය කළ නොහැකි බවට නැගෙන මතයට ප්‍රතිචාර දැක්වූ හෙතෙම එය ප්‍රතික්ෂේප කළ අතර ඔහු පැවසූයේ තමන්ට එවැනි ප්‍රශ්නයක් පිළිබදව මෙතෙක් වාර්තා වී නැති බවය.
කෙසේ වුවද නුදුරේදීම පැරණි කැලණි පාලම භාවිතයෙන් ඉවත් වනු ඇති බවත් එවිට එවැනි ප්‍රශ්නයක් පැන නොනගින බවත් සඳහන් කළ සාමාන්‍යාධිකාරීවරයා උඩරට දුම්රිය මාර්ගය සඳහා සුදුසු එන්ජින් සහ බලවේග කට්ටල ගෙන්වීමට පියවර ගෙන ඇති බව ද පැවසීය.







