එළඹෙන යල කන්නයට මෙවර මහ කන්නයේ අත් වූ ඉරණමම අත්වීමට නියමිත බවත් අවශ්‍ය රසායනික පොහොර හා වල්නාශක ස්ථිර වශයෙන්ම හිඟයක් ඇතිවන බවත් කෘෂිකර්ම ක්ෂේත්රයේ ආරංචි මාර්ග හෙළි කරයි.
ඉකුත් වසරේ රටේ පොහොර අවශ්‍යතාවය පිළිබඳ සලකා බලන විට මෙම වසර සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හෝ පොහොර ලේකම් කාර්යාලය විසින් අවශ්‍ය ප්‍රමාණයට පොහොර ආනයනය කර නැති බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසයි.
වාර්තාවන පරිදි මේ වනවිට රසායනික පොහොර ලෙස ආනයනය කිරීම සඳහා ඇණවුම් කර ඇත්තේ ඇමෝනියම් සල්ෆේට් මෙට්‍රික් ටොන් ලක්ෂයක් සහ යූරියා ටොන් පන්දහසක් පමණි. එයිනුත් වී වගාව සඳහා මෙතෙක් භාවිතා කළේ යූරියා පමණි.
ටොන් පහකට අඩු ප්‍රමාණයක් ආනයනය කිරීමට ඇණවුම් කර ඇති යූරියාවල පසුගිය වසරේ ජාතික අවශ්‍යතාවය ලෙස පොහොර ලේකම් කාර්යාලය ප්‍රකාශ කර ඇත්තේ ටොන් දෙලක්ෂ හතලිස් හත් දහසකි.
මේ අතර මෙතෙක් වී වගාව සඳහා භාවිතා නොකළ, තේ සහ රබර් සඳහා පමණක් භාවිතා කළ ඇමෝනියම් සල්ෆේට් ගිය වසරේ අවශ්‍යතාවයට වඩා සිවු ගුණයක් වැඩියෙන් ආනයනය කිරීමට ඇණවුම් කර ඇත්තේ යූරියා වෙනුවෙන් භාවිතා කිරීමට බව වාර්තා වේ.
මෙට්‍රික් ටොන් ලක්ෂයක් ඇනවුම් කර ඇති ඇමෝනියම් සල්ෆේට් ගිය වසරේ සියලුම භෝග සඳහා ජාතික අවශ්‍යතාවය ලෙස දක්වා ඇත්තේ මෙට්‍රික් ටොන් 28336කි.
අවම පොහොර ප්‍රමාණයක් ඇණවුම් කිරීමට ප්‍රබල තම හේතු සාධකය වී ඇත්තේ ඩොලර් හිඟතාවය සහ පොහොර නිෂ්පාදිත මිල ඉහල යාමය.
නිෂ්පාදන පිරිවැය පිළිබඳ සලකා බලන විට ආනයනයෙන් පසු ලංකාව තුළ කිලෝග්‍රෑම් 50ක යූරියා පොහොර මිටියක් රුපියල් විසිපන්දහසකට විකිණීමට ඇති ඉඩප්රස්ථා වැඩි බවද කෘෂිකර්ම එම ආරංචි මාර්ග හෙළි කරයි.
කෙසේ වෙතත් පවතින තත්වය තුළ දේශීය වශයෙන් නිසි ප්‍රමිතියක් සහිත කාබනික පොහොර නිශ්පාදනය සඳහා නියමිත වැඩ පිළිවෙළක් රජය සතුව නැති බවත් ප්රශ්නය ඔඩු දුවන්නට ඉඩ දී යළිත් කාබනික පොහොර ආනයනය කිරීමේ වැඩපිළිවෙළක් ඇතිදැයි සැකයක් මතුවන බවත් අදාල තොරතුරු මූලාශ්‍ර පවසයි.







