පෞද්ගලික ආයතනයක් මගින් ආනයනය කර රුපියල් අනූ දහසකට සෞඛ්‍ය අමාත්‍යාංශයට ලබා දීමට සූදානම් වන පිළිකා නාශක එන්නතක් රුපියල් හතළිස් පන්දහසක වියදමින් යුරෝපා තාක්ෂණයෙන් මෙරට නිෂ්පාදනය කිරීම සඳහා අනුමැතිය ලබා දෙන ලෙස දේශීය නිෂ්පාදකයෙක් ජාතික ඖෂධ නියාමන අධිකාරියෙන් ලිඛිත ඉල්ලීමක් කර තිබේ.
TRASTUZUMAB නමැති මෙම එන්නත මෙතෙක් ආනයනය කර සපයන ලද්දේ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචිය සහිත සමාගම් වන නමුත් මෙවර එම අධිකාරියේ ලියාපදිංචිය නොමැති සමාගමකට එම එන්නත ආනයනය කිරීම සඳහා අවසරය දී ඇත.
එන්නත නිෂ්පාදනයට අනුමැතිය ඉල්ලා ඇති දේශීය නිෂ්පාදක සමාගමේ මාසික ධාරිතාව එන්නත් පනස් දහසකි. මෙම සමාගම දීර්ඝ කාලයක් තිස්සේ එන්නතට අවශ්‍ය අමුද්‍රව්‍ය නිෂ්පාදනය කර ස්විට්සර්ලන්තයට අපනයනය කරමින් සිටියි.
යුරෝපා තාක්ෂණයෙන් යුත් නිෂ්පාදන ආයතනය කටුනායක පිහිටා තිබෙන අතර පිළිකා නාශක එන්නත් නිෂ්පාදනයට ආයතනය සූදානම් බවත් එහෙයින් ආයතනයේ සුදුසුකම් පරීක්ෂා කිරීමට පැමිණෙන ලෙසත් මෙම සමාගම වසර හතක සිට ම ජාතික ඖෂධ නියාමන අධීකාරියෙන් කරන ඉල්ලීම්වලට මේ දක්වා නිසි ප්‍රතිචාරයක් ලැබී නැතැයි ද දැන ගන්නට තිබේ.







