මාතලේ විල්ගමුව ප්‍රදේශයේ හඳුනා නොගත් වකුගඩු රෝගයට ගොදුරුවූ පුද්ගලයින් 262 නෙකු සම්බන්ධ කර ගනිමින් සිදුකළ පර්යේෂණයකදී ඔවුන් අතරින් 65% දෙනෙකුම ගොවීන් බව හෙළිව තිබේ.
මෙම පිරිස අතරින් 90% කගේ මාසික ආදයම රුපියල් 10000.00 ට අඩු බවද එම පරීක්ෂණයේදී අනාවරණය වී ඇත.
මහනුවර දිස්ත්‍රික් ප්‍රාදේශීය වසංගතවේදඥ පසන් ජයසිංහ ඇතුළු කණ්ඩායමක් වසර 1 1/2 ක කාලයක් විල්ගමුව කේන්ද්‍රකර ගනිමින් මෙම පර්යේෂණය සිදුකර තිබේ.
අදාළ පර්යේෂණ වාර්තාව එළිදැක්වීම නිමිත්තෙන් පසුගියදා මහනුවර ග්‍රෑන්ඩ් කැන්ඩියන් හෝටලයේදී පැවැති උත්සවයකදී මෙම තොරතුරු අනාවරණය විය. යුරෝපා සංගමයේ ඇඩ්රා (ADRA) ආයතනය ප්රමුඛව ක්‍රියාත්මක වන ඇසෙන්ඩ් (ACCEND) ව්‍යාපෘතිය මගින් මෙම පර්යේෂණය සඳහා මූල්‍ය දායකත්වය සපයා ඇත.
මධ්‍යම පළාතේ වැඩිම වකුගඩු රෝගීන් පිරිසක් විල්ගමුවෙන් හඳුනා ගැනීම අදාළ පර්යේෂණයට එම ප්‍රදේශය තෝරා ගැනීමට හේතුවී ඇත.
අදාළ පර්යේෂණයට භාජනය කළ රෝගීන් අතරින් 60 % කගේම මාසික ආදායම රුපියල් 5000.00 ට අඩු බවත් අඩු ආදායම් තත්ත්වය හේතුවෙන් රෝගීන් ගෙන් අති බහුතරය ප්‍රතිකාර ලබා ගැනීම සඳහා සායන කරා ගමන් කරන්නේ පොදු ප්‍රවාහනය භාවිත කරමින් බවත් වසංගතවේදඥ පසන් ජයසිංහ කීය.
වකුගඩු රෝගී වීම සඳහා දියවැඩියාව,අධි රුධිර පීඩනය වැනි රෝග තත්ත්වයන්ද බලපාන බවත් අදාළ පරීක්ෂණය සඳහා භාජනය කරනු ලැබුවේ හඳුනා නොගත් වකුගඩු රෝගයට (Chronic Kidney Disease of Unknown Origin) ගොදුරු වූ අය පමණක් බවත් ඔහු ප්‍රකාශ කළේය.
හඳුනා නොගත් වකුගඩු රෝගයට හේතුව කුමක්ද යන්න සම්බන්ධව පර්යේෂණ ගණනාවක් සිදුකර ඇතත් ඊට නිශ්චිත හේතුවක් මෙතෙක් සොයාගෙන නොමැති බවත් ඒ පිළිබඳ විධිමත් පර්යේෂණයක් සිදු කිරීමේ අවශ්‍යතාව පවතින බවත් හෙතෙම අවධාරණය කළේය.
වකුගඩු රෝගීන් සඳහා ප්‍රතිකාර ලබාදීමට තරම් සෞඛ්‍ය පද්ධතිය ගුණාත්මක මට්ටමින් ඉහළ තැනක තිබුණත් ප්‍රතිකාර ලබා ගැනීමට යාමේදී රෝගීන් නිරන්තරව පීඩාවට ලක්වන බවත් මෙයට හේතු හඳුනා ගෙන ඒවා වැලක්වීමට අවශ්‍යය පියවර යෝජනා කිරීම අදාළ පර්යේෂණයේ අරමුණ වූ බවත් ජයසිංහ මහතා කීවේය.
මෙම අවස්ථාවට මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ ගමගේ,මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් ගාමිණි රාජරත්න,පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් බී.එම් ජයවික්‍රම, මධ්‍යම පළාත් සෞඛ්‍ය අධ්යක්ෂ නිහාල් වීරසූරිය,මධ්‍යම පළාත් විශේෂඥ වසංගතවේදඥ සුරංග ප්‍රනාන්දු,මාතලේ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ චමින්ද වීරකෝන්,ඇඩ්රා ආයතනයේ ශ්‍රී ලංකා අධ්යක්ෂ මැතිව් විටී (Matthew Whitty) ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.







