නැගෙනහිර පළාතේ කැලෑබද ඉඩම් විශාල ප්‍රමාණයක් නීත්‍යානුකූල නොවන අයුරින් අන්තවාදීන්ගේ පිරිස් අතට පත්වෙමින් තිබෙන බව, එක රටක් එක නීතියක් ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපති පූජ්‍ය ගලබොඩඅත්තේ ඥානසාර හිමියන් පැවැසූහ.
උන්වහන්සේ මේ බව සඳහන් කළේ අද(28) සවස වැලිකන්ද වඩමුණේ සහ ඓතිහාසික නෙලුගල ප්‍රදේශවල නිරීක්ෂණ චාරිකාවකට එක් වීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
ගලබොඩඅත්තේ ඥානසාර නාහිමියන් වැලිකන්ද වඩමුනේ වසර 126 ඉපැරිණි හින්දු කෝවිලක් නැරඹීමටද එක්වූහ.
එහිදී හින්දු කෝවිලට අයත් ඉඩම් අක්කර 58 ක් අන්තවාදීන් විසින් බලහත්කාරයෙන් අල්ලා කුඹුරු වගා කිරිම පිළිබඳ හින්දු භක්තිකයන් විසින් ඥානසාර හිමිට කරුණු දැක්වීය.
අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ ගලබොඩඅත්තේ ඥානසාර හිමියන් මෙලෙස පැවසූහ.
“අද අපි මේ ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවකට ආවේ මේ ප්‍රදේශයේ දමිළ ජනතාවගේ විශේෂ ඉල්ලීමක් අනුව. කීප වතාවක්ම ඉල්ලීමකුත් කරා තමන්ට වෙලා තියෙන අසාධාරණයට ඉදිරිපත් වෙන්න කියලා. මේ ප්‍රදේශයේ යුද්ධ කාලෙ සිංහල අයට වගේම දමිළ අයට ලොකු අසාධාරණකම් වෙලා තියෙනවා. යුද්දේ කාලේ ඒ අය වාලච්චේන ප්‍රදේශ්වලට ගොස් අනාථ කඳවුරුවල ජීවත් වුණේ. එද්දි ඒ අයගේ සියලු සේසත් මේ පළාතේ යම් යම් අන්තවාදීන් කණ්ඩායම් විසින් අත්පත් කරගෙන තිබෙනවා. මේ ජනතාවට සිදුවී තිබෙන අසාධාරණකම් සියල්ල නිවැරදි කළ යුතුයි.
අපිත් දන්නවා නැගෙනහිර පළාතේ බොහෝ කැලෑබද ඉඩම් අන්සතු වෙමින් පවතිනවා. ඒවා එහෙම වෙන්න බෑ. මේවා කාගෙවත් බූදල් නෙවෙයි, මේ කෝවිල් පුදබිමට අයිති අක්කර පනස් අටක් පමණ අන්තවාදීන් විසින් බලෙන් අත්පත් කරගෙන වී වගා කරනවා. ඒ වරද නිවැරදි කළ යුතුයි .අපි ඒ ගැන අදාළ පාර්ශව එක්ක සාකච්ඡා කරනවා. ඒ කරලා සාධාරණ විසඳුමක් ලබා දෙනවා. මේක තමයි අපේ රටේ තුච්ච දේශපාලනය කියන්නේ, අපේ මහ එවුන් රට වසර ගානක් පාලනය කරත් මේ අසරණ ප්‍රජාවගේ ඉල්ලීම් ඉටු වෙලා නෑ. මේක තව තවදුරටත් දිගින් දිගටම නොවිය යුත්තක් ලෙසයි අපි දකින්නේ. ඒ නිසා දේශපාලන බලාධිකාරිය කවුරු කළත් මේ වගේ වැඩ වැරදියි, අපි මේවට වහාම මැදිහත් වෙනවා” යැයි ද ගලබොඩඅත්තේ ඥානසාර නාහිමියන් සඳහන් කළහ.
දිඹුලාගල බුද්ධ ශ්‍රාවක සංඝ සභාවේ ලේඛකාධිකාරී පූජ්‍යපාද දිඹුලාගල රාහුලාලංකාර නාහිමියන් ප්රමුඛ ගරුතර මහා සංඝ සංඝරත්නය මෙම නිරීක්ෂණ චාරිකාවට එක්ව සිටියහ.
මෙම අවස්ථාවට, වැලිකන්ද පොලිස් ස්ථානයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සමන්ත රත්නායක , වාලච්චේන පොලිස් ස්ථාන ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලසන්ත බණ්ඩාර, මහත්තුරු ඇතුළු වඩමුනේ, උත්තුචේන යන ගම්මානවල සිංහල දමිළ ජනතාව විශාල පිරිසක් එක්ව සිටියහ.







