නැනෝ පොහොර ගනුදෙණුව සිදුවූයේ කැබිනට් අනුමැතියකින් බවත්, නියමිත මිලට වඩා දෙගුණයක් වැඩියෙන් මෙම පොහොර ආනයනය කළ විට තමන් කළ ප්‍රශ්න කිරීම කිසිදු පලක්වූයේ නැති බවත් කියන හිටපු කෘෂිකර්ම ලේකම් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය උදිත් කේ. ජයසිංහ කැබිනට් අනුමැතියකින් සිදුවූ ගනුදෙනුවක් ඉදිරියේ තමන් කුමක් කරන්නේ දැයි ප්‍රශ්න කළේය.
ඔහු මේ බව කීවේ හිරු ප්‍රවෘත්ති නාලිකාවේ විශේෂ සංවාදයකට එක් වෙමිනි.
එහිදී හිටපු කෘෂිකර්ම ලේකම්වරයා මෙසේ එම තත්වය පැහැදිලි කළේය.
“ඇත්ත. නැනෝ පොහොර ගත්තෙ වැඩි මුදලකට. මේ ප්‍රශ්නය මතුවුනාම එන චෝදනාවත් එක්ක අපි හැප්පුනා මේ මිල වැඩියි කිව්වා.“
“අපට මේ සම්බන්ධව ගැටෙන්න වුනේ එම පොහොර ගෙන්වපු දේශීය නියෝජිතයා සමග. ඔහු ඉදිරිපත් කළ මිල ඩොලර් 12.55යි. අපි ඇහුවා ඇයි මේ පොහොර ලීටරය 12.55ට දෙන්නෙ කියලා. අපිත් අමාරුවෙ වැටිලා ඉන්න වෙලාව. ලීටරය රුපියල් 2500 කිව්වහම අපිත් හොයනවානෙ මේ ගැන. “
“අපිට පේනවා මේක ඊට වඩා අඩුවට මේ පොහොර තියනවා කියලා. ඒ නිසා නැවත දේශීය නියෝජිතයා ගෙන්වලා කිව්වා මේක මිල වැඩියි කියලා. පස්සේ ඔහු ඩොලර් 2.55ක් අඩු කරලා ඩොලර් 10ක් කළා. අපි කිව්වා ඔබ දේශීය නියෝජිතයෙක්. ඔබ ගනුදෙනු කරන්න ඕන රුපියල් වලින් කියලා. දේශීය නියෝජිතයෙක් එක්ක අපි මොකටද ඩොලර් වලින් කටයුතු කරන්නෙ. අපි රුපියල්වලින් ඉල්ලනකොට මෙයා ආපහු දෙනවා මිලක් රුපියල් 2497යි කියලා. ආයෙත් 2500යි. “
“ඇත්තටම මම කියනවා මේක අපිට ගන්න තිබුණු මිල ඩොලර් 5.25යි. ඒ වෙලාවෙත් මා ඇහුවා ඇයි ඩොලර් 5.25ට ගන්න පුලුවන් දේ ඩොලර් 10ට ගන්නෙ කියලා.“ හිටපු ලේකම්වරයා කීවේය. ඒත් දෙගුණයක් මිල වැඩිනම් ඔබ එය සඳහා ඉඩ දුන්නේ කුමක් නිසාදැයි මෙහිදී මාධ්‍ය වේදීයා විසින් හිටපු ලේකම්වරයාව ප්‍රශ්න කළේය. ඔහු දුන්නේ මෙවැනි පිළිතුරකි.
“ මේක ඩොලර් 10ට ගෙනාවෙ කැබිනට් අනුමැතියකින්. ඉතින් මම මොකද කරන්නෙ“







