ගෑස් ආශ්‍රිත අනතුරු හේතුවෙන් මේ වසරේ පුද්ගලයින් 7 දෙනෙකු මිය ගොස් 16 දෙනෙකු තුවාල ලබා ඇති බව මෙරටින් වාර්තා වූ ගෘහස්ථ ගෑස් සිලින්ඩර පිපිරීම ඇතුළු ගෑස් අනතුරු ආශ්‍රිත සිද්ධීන් පිළිබඳ සොයා බැලීමට ජනාධිපතිවරයා විසින් පත් කළ කමිටු සාමාජිකයෙක් වූ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් කියයි. .
2021 වසරේ මේ දක්වා ගෑස් ආශ්‍රිත අනතුරු 847ක් වාර්තා වී ඇති බව ඔහු පවසයි.
අනතුරුවලින් 797ක් ලිට්‍රෝ ගෑස් ලංකා සිලින්ඩර ආශ්‍රිතව වාර්තා වී ඇති අතර, ලාෆ්ස් ගෑස් පීඑල්සී හි ගෘහස්ථ ගෑස් සිලින්ඩර ආශ්‍රිතව සිද්ධීන් 50ක් වාර්තා වී තිබේ.
පොලිසියට අනුව 2020 වසරේ වාර්තා වී ඇත්තේ ගෑස් ආශ්‍රිත අනතුරු 31ක් පමණි.
නොවැම්බර් මාසයේදී අලෙවි වූ ගෑස් සිලින්ඩර මිලියන 2.8 න් ගැටලු වාර්තා කර ඇත්තේ 797 ක් පමණක් බවත එය ප්‍රතිශතයක් ලෙස 0.02%ක් බවත් ඔහු කියයි.
මේ අතර ගෘහස්ථ ගෑස් සිලින්ඩර පිපිරීම ඇතුළු ගෑස් අනතුරු ආශ්‍රිත සිද්ධීන් පිළිබඳ සොයා බැලීමට ජනාධිපතිවරයා විසින් පත් කළ කමිටුව සිය අවසන් වාර්තාව අද ජනාධිපතිවරයා වෙත භාර දී තිබිණි. පාරිභෝගික සුරක්ෂිතතාව වෙනුවෙන් ගෘහස්ථ ගෑස් නියාමනය සම්බන්ධව සාධනීය යෝජනාවලියක් මෙම කමිටුව විසින් ඉදිරිපත් කර තිබේ.
එම කමිටුවේ සභාපතිත්වය දැරුවේ මොරටුව විශ්විද්‍යාලයේ මහාචාර්ය ශාන්ත වල්පලගේ විසිනි.
මොරටුව විශ්වවිද්‍යාලයේ මහාචාර්ය අජිත් ද අල්විස්, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ඩබ්ලියු.ඩී.ඩබ්ලියු ජයතිලක සහ මහාචාර්ය ප්‍රදීප් ජයවීර, ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසමේ කොමසාරිස් ආචාර්ය නාරායන් සිරිමුතු, කාර්මික තාක්ෂණ ආයතනයේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සුදර්ශන සෝමසිරි, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධ්‍යක්ෂ සුජීව මහගම සහ ජ්‍යෙෂ්ඨ නියොජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මේ කමිටුවේ අනෙක් සමාජිකයෝ වූහ







