මෙතෙක් රටම කතා කළේ කොළඹ මහනුවර ප්‍රධාන මාර්ගයේ වසා තැබීම ගැනය. පහල කඩුගන්නාවේ බෑවුම් පෙදෙසේ පස් කණ්ඩි කඩා වැටී මහා මාර්ගය කැඩී ගොස් වෙනත් මාර්ග භාවිත කරන්නට සිදුවීම ගැනය.
ඉදිරි කාලයේ දී මේ බිම් කඩ ආරක්ෂා කර ගැනීම සඳහා කළ යුත්තේ කුමක්ද යන්න ගැන ය
සියල්ලටම අමතක වූ කතාවක් තිබේ. ඒ කතාව පහළ කඩුගන්නාවේ කවුරුත් දන්නා කඩපේළිය කරගෙන ජීවත් වූ මිනිස්සු ගැනය.
මේ මහා සොබාවික විපත් හේතුවෙන් ඒ කඩ පනහකට ආසන්න ප්‍රමාණයක් එතැනින් ඉවත් කර දමාය. මේ ස්වභාවික විපත මවුපියන් දූ දරුවන් පන්සීයකට වැඩි පවුල් සංස්ථාවකගේ ජීවිතය නවත්වා තිබේ. ඔවුන්ගේ බඩ ගින්න නිවන්නේ කෙසේද යන්න හැමටම අමතකව ගොස් තිබේ.
පහළ කඩුගන්නාවේ වෙළෙඳ ප්‍රජාව යනු වෙනම කතාවකි. මේ කඩ පනහම කරන්නේ එකම විස්තෘත පවුලකි. ඒ අවට ත්‍රීවිල් හයර් දුවන්නේ ඒ පවුලේ ඇත්තන්ය. වාහන සෝදන්නේත් ඒ පවුලේ ඇත්තන්ය. අවට තියන කඩවලට පුංචි පුංචි අත්තම් දෙන්නේත් ඒ පවුලේ ඇත්තන්ය. ඒ ඇත්තන් තිසේරලා ය.

පහළ කඩුගන්නාවේ තිසේරා වෙළෙඳ පවුලේ මුල් පුරුක වයලට් පිලෝමිනා ලොකී තිසේරා අම්මාය. ඒ අම්මාට දැන් අවුරුදු 76 කි. උන්දෑ මුලින්ම පහළ කඩුගන්නාවේ කඩයක් අටවාගෙන එන්නේ වර්ෂ 1970 දී ය.
වයලට් පිලෝමිනා ලොකී තිසේරා අම්මා ඒ කාලයේ නාඹර තරුණියකි. වයස අවුරුදු 25කි. උන්දෑ පහළ කඩුගන්නාවේ කඩයක් අටවා ගන්නට එන්නේ තමන්ගෙ නංගිලා, පුංචි අම්මලා ලොකු අම්මලාගේ නංගිලා ද සමගය. අලුත පවුල් වුණු තරුණ මේ තරුණ කාණ්ඩය ජීවත් වුනේ විදේශ සංචාරකයන්ට තොරොම්බල් විකුණමිනි. මේ තරුණ ගැහුණුන් හා තරුණියන් පොල්කටු විසිතුරු බඩු අත්කම් අගස්ති නිමැවුම් ඇතුළු දේශීය මාල වළලු විසිතුරු බඩු කරේ අතේ පටලවාගෙන සුද්දන්ට විකිණු අතීතය ඇය මතක් කරන්නේ පුදුමාකාර තෘප්තියකිනි..
‘ ඒ දවස් වල සංචාරකයෝ අපිට හරියට සලකනවා. මෙතන බහින්නේ නැතුව ඉස්සර කිසිම විදේශිකයෙක් නුවර යන්නෙ නෑ. ඒ අය බතලේගල දෙවනගල ඔය පල්ලෙහා වෙල්යාය බලන්නත් ඡායාරූප ගන්නත් මෙතැනට එනවාමයි. ඒ කාලෙ අපිට හරිම සරුයි. ..’ තිසේරා අම්මා සරුසාර අතීතයක් ගැන සිහි කරන්නීය.
ඒ තොරොම්බල් අලෙවිය පසුව ඒ පවුලේ දූ දරුවන්, අතර විවිධ ව්‍යාපාර ලෙස පැතිරී ගියේය. සමහරු පළතුරු විකිණූහ. සමහරු රස කැවිලි විකිණූහ. සමහරු ඒ පළතුරු රසකැවිලි සැපයුම් කළහ. අයෙක් බඩඉරිඟු තම්බා විකිණූහ. මෑතක සිට බොහොම ජනප්‍රිය වෙළෙඳාම වූයේ පහළ කඩුගන්නාවේ නයි කොච්චි ලුණුමිරිස් සමග රොටීය. තිසේරලාගේ කට සැර රොටියක් කා වැඩි සීනි ප්ලේන්ටියක් බොන්නට සීතල කඩුගන්නාවේ නොනැවතුනු කෙනෙක් නුවරට ගියා නම් ඒ කලාතුරකිනි.

අද උන්හිටි තැන් නැති වුණු නමුත් අඩසියවසක ඉතිහාසයක් සහිත තිසේරා වෙළෙඳ පවුලේ මුල් පුරුක වුණු වයලට් පිලෝමිනා ලොකී තිසේරා අම්මා සොයාගෙන ගියෙමු.
උන්දෑ අතීත කතාව අපට කියන්නෙ කඩා ඉවත් කළ කඩ පේළිය දෙස බලාගෙනය.
“ මොනව උනත් පුතේ ජීවිත බේරුණා නෙ. ඒ ඇති.“ ඇය කියන්නී එසේය.
“ සුද්දොන්ට මාල වළළු විකුණලා තමයි රස්සාව පටන් ගත්තේ. ඒ කාලෙ නම් හරිම අපූරුයි. ඔයකාලෙ මාවනැල්ල මන්ත්‍රීගොල්ල තමයි අපිට කඩ දාගනන් අවසර දුන්නෙ ඒ කාලෙ. අපි ඇවිත් පදිංචි වුණා. නංගිලා පවුල් වෙනකොට වෙන වෙනම කඩ හදා ගත්තා. වෙළෙඳාම බෙදාගෙන කළා. කට්ටියක් තොරොම්බල් විකිණුවා. කට්ටියක් පළතුරු විකිණුවා. තවත් අය බඩඉරිගු විකිණුවා. “
පුතාලා ලොකු මහත්වෙලා මෙතනම තමයි රස්සාව කළේ. කට්ටියක් කඩ කළා. කට්ටියක් වාහන හෝදන්න ගත්තා. තවත් සමහරු කඩවලට බඩු ගෙන්වන රස්සාව තෝරාගත්තා. හයර් යන්න ලෑස්ති කරගත්තා. බොහොම සමෝ සමේ තමයි වෙළෙඳාම කළේ. ඒ අතරෙ බරපතල සිද්ධිත් වුනා.“
ඇය කියන්නේ මීට අවුරුදු හයකට පෙර සිද්ධ වුණු එවැනි සිද්ධියකි.
නංගිගෙ දුවගෙ කඩේ තිබුණෙ අපේ කඩේට ටිකක් එපිටින්. කඩේ ඉන්නකොට කන්දෙන් මහා ගහක් කඩාගෙන වැටුණා කඩේට. ඒ දුවගේ මහත්තයා චින්තක ඒ අනතුරෙන් නැතිවුණා. එතකොට එයාට අවුරුදු 33යි. ඊට පස්සේ දුව රට රස්සාවට ගියා දුවගෙ දරුවා නංගි ලඟ තියලා.
මේ අවුරුදු පනහටම අනතුරක් කියලා සිද්ධ වුනේ එච්චරයි… දැන් මහා අනතුරක් ඇති වෙලා. ජීවිත ඔක්කොටම වඩා වටිනවා. අපි ජීවිතේ විතරක් බේරගෙන මෙතනින් අයින් වෙලා යනවා.“

ඇය කියන්නේ ජීවිතයේ අස්ථිර ස්වරූපය ගැනය.
අම්මලට ඒ දවස්වල ජීවත් වෙන්න තරම් ආදායමක් තිබුණ ද?
අපි ඇසුවෙමු. ඇය කියන්නේ තමන් ඉතාම තෘප්තිමත් ජීවිතයක් මේ භූමියේ ගතකරමින් සිටි බවය.
ඇත්තමයි පුතේ. මේ කොවිඩ් වලට කලින් අපිට හොඳ ආදායමක් තිබුණා. කාටවත් ණය වුනේ නෑ. හොඳ ජීවිතයක් ගත කළා. අපි හැමෝම ඉන්න තැන් හදාගත්ත. ඒත් මට ඉන්න තැනක් හදාගත්තෙ නෑ. එහෙම උවමනාවක් තිබ්බෙත් නෑ. මේ කන්ද පාමුල දාලා යන්න හිතුනෙ නෑ. මම හැමදාම හිටියේ මගේ කඩේ. “
කන්ද පාමුල ඇය ගත කළ ජීවිතයට තිත තැබීමට සිදු වී ඇත. ඇය ජීවිතය කම්පා කළ පහළ කඩුගන්නාව කන්ද කම්පා වීමේ කතාව අපට කියන්නේ මේසයේ.
“එදා කඩේ හිටියෙ. දවල් එකට විතර වෙනදා නැති අමුතු සද්දයක් ඇහුණා. කොහෙන්ද කියලා හොයාගන්න බැරි වුනා. ටිකක් එළියට බැහැලා හෝදිසි කරනකොට මඩපාරක් එනවා ලොකුවටම පහළට. “
කට්ටිය එහෙට මෙහෙට පැනලා ගියා. කන්ද හිමිහිට කඩ ටිකක් උඩට පාත් වුණා. ඒ වෙච්චි ඉක්මනින් පොලිසියෙ මහත්තුරු ආවා. අපට අයින් වෙන්න කිව්වා.
එදයින් පස්සෙ අවුරුදු 50ක් විතර බඩගින්න නිවපු ඉහට හෙවනක් දීපු තැන දාලා යන්න වුණා. එතනින් සහදහටම යන්න වේවි කියලා ඒ වෙලාවෙ හිතුවෙ නෑ.“

වයලට් පිලෝමිනා ලොකී තිසේරා අම්මා පටන් ගත් තිසේරා වෙළෙඳ පවුලේ පහළ කඩුගන්නාවේ ජීවිතය දැන් නිමා වී ඇත.
“අපි දුප්පත් තමයි පුතේ. ඒත් අපි මෙතන ගත කරපු ජීවිතේ සුන්දරකම දන්නෙ අපි විතරයි. “ තිසේරා අම්මා කීවාය. පොතේ පතේ දමා ඉතිරි නොකළාට එදා වේල ඉහටත් උඩින් පිරිමසාගෙන ණයක් නැතිව ගත කළ සරල මිනිසුන් පිරිසකගේ ජීවිත අන්දරයේ එක් පරිච්ඡේදයක් නිමා වෙමින් ඇති අයුරු දකිමු.
ඔවුන්ට යළි මේ හඬා වැටෙන බිමේ ජීවත් වීමට ඉඩක් ලැබෙනු ඇතැයි අප විශ්වාස කරන්නේ නැත. මේ අනතුරු ඇඟවීම නොසලකා හැරියානම් තිසේරා පවුල පහළ කඩුගන්නාවේ මුළුමනින්ම වැළලී යන්නට ඉඩ තිබිණි. දැන් ඒ අවදානම නැත. ජීවිතය ඉතිරිව තිබේ. එය හසුරුවා ගැනීමේ වගකීම තිසේරා පවුලට පැවරී ඇත. ඒ සඳහා වන්දි ලබා ගැනීමට නෛතික ප්‍රතිපාදන නැත. තිසේරා පවුල කඩ අටවාගෙන සිටියේ අනවසරවයට. මාර්ග සංවර්ධ අධිකාරියට අයත් භූමියේ ය.
එහෙත් ඔවුන් වෙනුවෙන් ජීවිත ප්රතිපාදනයක් හදා දීම ආණ්ඩුවේ වගකීමකි. ඔවුන් මේ රටේ පුරවැසියන්වන බැවිනි. අනවසර ඉඩමක වුනත් අඩසියවසක් තිස්සේ ජීවත් වෙමින් ජීවිත ගෙවා දැමූ පන්සියයට ආසන්න පිරිසක් ඉදිරියේ දී අසරණ කිරීමට සාධාරණ සමාජයකට පුලුවන්කමක් නැති බැවිනි.







