සූරියවැව නුවන් ජයසේකර –
-
ශ්‍රේෂ්ඨාධිකරණයෙන් මරණ දඬුවම අනුමත කළ අයත් නිදහස් වෙලා යනවා… විනිසුරු සරත් අඹේපිටිය ඝාතකයන්ටවත් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අනුමත කළ මරණ දණ්ඩනය ලැබුණෙ නෑ… ඒ නිසා මරණ දණ්ඩනය ප්‍රකාශ කිරීමේ දී කළ යුතු සම්ප්‍රදාය අවශ්‍ය නෑ… මහාධිකරණ විනිසුරු ආර්.ඒ.එස්.සපුවිද
නඩු විභාගයකින් අනතුරුව චුදිතයෙකුට එරෙහිව මහාධිකරණයකදී මරණීය දණ්ඩනයක් නියම කිරීමේ දී සාම්ප්‍රදායිකව අනුගමනය කරන විවෘත අධිකරණයේ විදුලි පහන් නිවා දැමීම, විදුලි පංකා නිවා දැමීම, විනිශ්චය ආසනයෙන් නැගී සිටීම හා අදාල තීන්දුවට අත්සන් කරන ලද පෑන කඩා දැමිම වැනි ක්‍රියාවන් කිසිවක් තමා විවෘත අධිකරණයේදි සිදු නොකරන බවත් මෙම දඬුවමද සාමාන්‍ය නඩු තීන්දුවක ස්වරූපයෙන්ම ලබා දීමට කටයුතු කරන බවත් තංගල්ල පූර්වාගාමී මහාධිකරණ විනිසුරු ආර්.එස්.එස්.සපුවිද පුද්ගලයෙකුට මරණීය දණ්ඩනය නියම කරමින් විවෘත අධිකරණයේදි පැවසීය.
තංගල්ල පූර්වාගාමී මහාධිකරණ විනිසුරු ආර්.ඒ.එස්.සපුවිද මේ බව පැවසුවේ මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධයෙන් වැරදි කරුවෙකු වු පුද්ගලයෙකුට තංගල්ල මහාධිකරණයේදි මරණීය දණ්ඩනය ලබාදීමට පෙරාතුව විවෘත අධිකරණය අමතමිණි.
විවෘත අධිකරණයේදී සිය තීන්දුව ප්‍රකාශයට පත් කරමින් මහාධිකරණ විනිසුරුවරයා වැඩිදුරටත් මෙසේද පැවසිය.
“ මහාධිකරණයකදී චුදිතයෙකුට එරෙහිව මරණීය දණ්ඩනයක් නියම කිරීමේදී විවෘත අධිකරණයේ විදුලි පහන් නිවා දැමීම, විදුලි පංකා නිවා දැමීම, විනිශ්චය ආසනයෙන් නැගී සිටීම හා අදාල තීන්දුව අත්සන් කරන ලද පෑන කඩා දැමීම සිදු කරන නමුත් අද දිනයේ මා එම සම්ප්‍රදායික ක්‍රියා කිසිවක් විවෘත අධිකරණයේදී සිදු නොකරමි.“
“එයට හේතුව වන්නේ ගරු මහාධිකරණ විනිසුරු වරයෙකු වු සරත් අඹේපිටිය මහතා ඝාතනය කර ඒ සඳහා මිනී මැරීමේ චෝදනාවට වරදකරු වු චූදිතයින්ට මෙරට ඉහළම අධිකරණය වන ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මරණීය දණ්ඩනය ස්ථිර කිරීමෙන් පසුව අද වන තෙක් මෙරට මරණීය දණ්ඩනය ක්‍රියාත්මක නොවීමය.
එමෙන්ම ශ්‍රේෂ්ඨාධිකරණයෙන් මරණීය දණ්ඩනය ස්ථිර කර තිබුණු සමහර අවස්ථාවල දී ඇතැම් චුදිතයින් පවතිනා නිති රාමුව තුළ විශේෂ සමාවන් සහිතව නිදහස් වී යෑමය.
මේ තත්වය තුළ මරණීය දණ්ඩනයක් මේ ආකාරයෙන් සාමාන්‍ය පුද්ගලයෙකු සම්බන්ධයෙන් නියම කිරීමේ දී පෙර කී සම්ප්‍රදායන් ගේ අදාළතාවයක්, ප්‍රායෝගිකතාවයක් නොමැතිය.
ඒ අනුව මා විනිශ්චය ආසනයේ නියමිත සෙසු නඩුවල තින්දු ප්‍රකාශ කරන ආකාරයෙන් හිඳ මරණීය දණ්ඩනයේ නියමය චුදිතට කියවා දී මරණ දණ්ඩනය නියම කරමි.“
මහාධිකරණ විනිසුරු වරයා වැඩි දුරටත් පැවසීය.
මෙලෙස මරණීය දණ්ඩනය නියම වුයේ වලස්මුල්ල පදිංචි රාජපක්ෂලාගේ ලාල් රංජන් නැමති විවාහක පුද්ගලයෙකුටය. චුදිත 2006.10.16 දින හෝ ඊට ආසන්න දිනකදී වලස්මුල්ල හොරේවලදී සුබසිංහ කට්ටාඩිගේ සයින්දරා නැමැත්තියගේ මරණය සිදුකිරීමේ චෝදනාවට වැරදි කරු බවට පත් වීමෙන් පසු මෙලෙස මරණීය දණ්ඩනය නියම කෙරුණි.
නීතිපති වරයා වෙනුවෙන් රජයේ අධිනීතීඥ ගයාන් එල්.පෙරේරා විසින් පැමිණිල්ල මෙහෙයවන ලදි.







