දිවයින පුරා මාර්ග කිලෝමීටර් ලක්ෂයක් දුරට කාපට් අතුරා සංවර්ධන කිරීමේ වැඩසටහන යටතේ මීට මාස 05කට පෙර වැඩ අවසන් කරන ලද කාලිංගවිල නාමල්ගම මාර්ගය මේ වන විට පා ගමනින් හෝ ගමන් කළ නොහැකි මට්ටමට සම්පූර්ණයෙන්ම ගල් ගැලවී විනාශව ඇති බව ගම්වාසීහු සඳහන් කරති.
සෞභාග්‍යය දැක්මෙන් ගොඩනැංවෙන අනාගත පොලොන්නරුව ව්‍යාපෘතියට අනුව මෙම මාර්ගයේ කිලෝ මීටර 05ක් දුර කාපට් ඇතිරීමේ වැඩකකටයුතු ආරම්භ කළ බව ඔවුහු පවසති.

“ පාර හොඳටම අබලන් වෙලා තිබුණේ. කාපට් අතුරන්න පටන් ගත්තේ මීට මාස 5 කට කලින්. දැන් පාර තිබුණටත් වඩා ගල් ගැලවිලා විනාශ වෙලා. කොන්ත්‍රාත් සමාගම කොහෙද දන්නෙ නෑ. “
“ අසේලපුර, කුරුලුබැද්ද, මෛත්‍රීගම, මහින්දාගම, කාලිංගවිල ඇතුළු ගම්මාන රැසකට යන එන ප්‍රධාන මාර්ගය තමයි මේක. දැන් මේ ගම්මානවල පවුල් දෙදහසක සාමාජිකයින් 10,000 කට ආසන්න සංඛ්‍යාවක් දුක් විඳනවා. කෝටි ගණන් වියදම් කරලා හදනවා. මාස පහක් යන්නත් පෙර ගැලවී යනවා. “ ප්‍රදේශවාසීහු කියති.
අප මෙම වැඩ නැවතී ඇති මාර්ගය පිළිබඳ වැලිකන්ද ප්‍රාදේශීය ලේකම් හයිරූන් නිශා ගෙන් දුරකථනයෙන් කළ විමසීමේ දී සඳහන් කළේ විනාශ වී ඇති එම මාර්ගය පිළිබඳ තමන්ට මෙතෙක් වාර්තාවක් ලැබී නොමැති බවත්, ඒ පිලිබඳ වහාම සොයා බලා පළාත් මාර්ග සංවර්ධන අධිකාරිය දැනුවත් කිරීමට කටයුතු කරන බවත්ය.
අප මේ පිළිබඳව පළාත් මාර්ග දෙපාර්තමේන්තුවෙන් දුරකථනයෙන් කළ විමසීමකදී එහි නිලධාරියෙකු සඳහන් කළේ ඒ සම්බන්ධව තමන් දැනුවත් නොවන බවත්, වහාම සොයා බලා එම මාර්ගයේ ඉදිරි වැඩ කටයුතු කඩිනමින් අවසන් කිරීමට අදාළ අංශ නිලධාරීන්ගේ අවධානය යොමු කරවන බවත්ය.







