කොවිඩ් යකා පිස්සු නටන විට එය මට්ටු කිරීමට රට නොවසා බැරි විය. මෙලෙසින් රට වසනා විට ඇතැම් ව්‍යාපාරවලට අත්තටු එයි. නීති විරෝධී මත්පැන් මේ අත්තටු ලැබෙන එක් ව්‍යාපාරයකි. ඒ ලොක් ඩවුන් ආරංචියත් සමඟ දවසින් දෙකෙන් රැස් කර ගන්නා බෝතල් දවසින් දෙකෙන් හිස්වීමේ අඩුව පිරීවීමටය. මේ තත්ත්වය හේතුවෙන් කොවිඩ් ලොක් ඩවුන් තත්ත්වයත් සමඟම රට පුරාම නීති විරෝධි මත් පැන් සඳහා ආවේ දැවැන්ත ඉල්ලුමකි. මේ ඉල්ලුම බොහෝ විට සැපිරුණේ කසිප්පු සහ රා වලිනි. මේවාද ප්‍රවාහනය කිරීමේ දුෂ්කරතා පැවති හෙයින් මෙතෙක් කලක් මේ වැඩේට අත නොගැසූ අය පවා හෙමින් සීරුවේ වැඩේට අත ගැසුවේ විනෝදයට මෙනි.
දුකටත් සතුටටත් බොන ජාතියක මිනිස්සු..
දුකටත් සතුටටත් බීමට පුරුදු වූ ජාතියක් සිටින රටක බහුතරයක් මිනිසුන් බාර් වසා තැබූ කාලයේ මේ විකල්ප මත්පැන් සඳහා යොමු වූයේ නිරායාසයෙන් මෙනි. පළාත් සංචරණ ප්‍රවාහන බාධක නිසා ත් කොවිඩ් අවදානම වැද වැඩියෙන් පොලිසිය හෝ සුරා බදු නිලධාරීන් වැඩිපුර කරක් නොගසන නිසාත් මෙය ඇතැම් ගම්වල අලුතින් බිහි වූ කුඩා ස්කාගාර කර්මාන්ත බවට පත්විය.
කොවිඩ් වසංගතයත් සමඟ වැටලීම් අඩු වූ නිසා මේ පිළිබඳ ගණන් හිලව් ගත නොහැකි වුණත් තිත්ත ඇත්ත වන්නේ මේ වනවිට මෙරට නීති විරෝධී මත්පැන් සාදන්නන්ගේ ප්‍රමාණය වැඩි විමය. මේ පිළිබඳව සෙවූ අපට හමුවන්නේ එකම එක පර්යේෂණ වාර්තාවක් පමණි. එය ජාතික ආරක්ෂාව පිළිබඳව පර්යේෂණ ආයතනය විසින් ප්‍රකාශයට පත් කර ලද වාර්තාවකි. එම වාර්තාවෙන් සෘජුවම පෙන්වා දී ඇති කරුණක් වන්නේ කොවිඩ් වසංගතයත් සමඟ පැමිණි සංචරණ සීමා, නිරෝධායන ඇඳිරි නීතිය වැනි තත්ත්ව මත නීති විරෝධී මත්පැන් නිෂ්පාදනය ගෘහස්ත මට්ටමක් දක්වාම ව්‍යාප්ත වී ඇති බවය. සුරාබදු දෙපාර්තමේන්තුවේ සංඛ්‍යා ලේඛනවලට අනුව මෙම කාලය තුළ වැඩිම වැටලීම් ප්‍රමාණයක් සිදු කොට ඇත්තේ මාතර දිස්ත්රික්කයේය.
නීති විරෝධී මත් පැන්වල භයානකකම දැඩි සේ පෙනෙන්නේ මේ රටේ මිනිස්සු නීත්‍යනුකූලව නිපදවන මද්‍යසාර පවා පානය කරන රටාව පිළිබඳව සැලකීමේදීය.
ලෝක බේබදන්ගෙන් අපට හිමි තැන
අපේ රටට මෙය කෙතරම් බලවත් සමාජ ආර්ථික සහ සෞඛ්‍යමය ගැටලුවක් බවට පත්ව තිබුණත් මේ ගැන අපේ රටේ සාධනීය මට්ටමින් පර්යේෂණ සංගණන සිදු කෙරී නැත. ඊට හේතු රැසක් තිබිය හැකිය. ඒ නිසා අපට යැපෙන්නට සිදුව ඇත්තේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ මත්පැන් පිළිබඳ ව ගෝලීය තත්ත්ව වාර්තාව (WHO Global status report) මතය. එම වාර්තාව කියන්නේ ශ්‍රි ලංකාව මේ අතින් සිටින්නේ නරකම තැනක බවය.
2018 වසරේදී ලෝක සෞඛ්‍ය සංවිධානය මත්පැන් පිළිබඳ ගෝලීය වාර්තාව සකසන්නේ 2016 දක්වා පවතින දත්ත මතය. ඒ අනුව සැලකීමේදී ශ්‍රි ලංකාවේ මත්පැන් පානය සියයට 94කින් වර්ධනය වී ඇත. මෙසේ වර්ධනය වෙද්දී නීති විරෝධී මත්පැන් භාවිතය 2004 වසරට සාපේක්ෂ ව සියයට 300කින් වර්ධනය වී ඇත. ඒ මෙසේය.
කසිප්පු කෙළිය
ලෝක සෞඛ්‍ය සංවිධාන වාර්තාවලට අනුව 2004 වසරේ මෙරට නීති විරෝධි මත්පැන් භාවිතයේ ප්‍රතිශතය සියයට 18කි. එය 2016 වනවි සියයට 40ක් පමණ දක්වා වැඩි වී ඇත. මේ අප කතා කරන්නේ 2016 වසරේ තත්ත්ව ගැනය. එහෙත් 2019, හෝ 2020 වසරටත් වඩා 2021 වසර වනවිට නීති විරෝධි මත්පැන් භාවිතය වැඩි වී ඇති බව අපට පිළිගන්නට සිදුවෙයි. ඒ කොවිඩ් ලොක්ඩවුන් සමඟ හතු පිපෙන සේ වැඩි වුණු හොර ඉස්කාගාර නිසා ය.
අපට 2018 වසරේ ලද අවසන් දත්ත වාර්තාවලට අනුව ශ්‍රි ලංකාවේ මත් පැන් භාවිතය ඇත්තේ භයානක තැනකය. නිදසුනක් ලෙස දකුණු ආසියානු කලාපය තුළ මත් පැන් භාවිතයේ වැඩිම වර්ධනයක් දැකිය හැක්කේ ශ්‍රි ලංකාවේය. එය කලාපය තුළ සියයට 55කින් වැඩි වෙද්දී ශ්‍රි ලංකාවේ සියය 94කින් වර්ධනය වී තිබේ.
මෙයට අමතරව කිසිදු මත්පැන් වර්ගයක් භාවිත නොකරන්නන්ගේ ප්‍රමාණය සියයට 10.4කින් අඩු වී ඇති අතර දැඩි සේ මත් පැන් භාවිත කරන්නන් ගේ ප්‍රමාණය සියයට 29කින් වැඩි වී ඇත. ඔවුන්ගෙන් සියයට 9ක් පමණ නිති විරෝධි මත්පැන් භාවිතයට පෙලඹීම තුළ දැඩි සමාජ ආර්ථික අනතුරකට මේ වනවිට රට නිරාවරණය වී ඇත.
බේබදුකම අර්ථ දැක්වීම
දැඩි සේ මත්පැන් භාවිත කරන්නන් (Heavy Episode Drinkers) ශ්‍රි ලාංකික සංදර්භය තුළ විද්‍යාත්මකව අර්ථ දැක්වීමේ දී යමකුට එය හාස්‍ය උපදවන තත්ත්වයක් ද විය හැකිය. ඒ මන්ද යත් වෛද්‍ය විද්‍යාත්මක ව දැඩි සේ මත්පැන් පානය කරන්නන් ලෙස සලකන්නේ දින 30ක් තුළ මද්‍යසාර ග්‍රෑම් 60කට වඩා වැඩි ප්‍රමාණයක් පානය කළ පුද්ගලයකු ය. සාමාන්‍යයෙන් මද්‍යසාර ග්‍රෑම් 60ක් යනු මද්‍යසාර මිලි ලීටර 75කි. එය සාමාන්‍යයෙන් සැලකෙන්නේ සාමාන්‍ය සැර බීම පානයක වීදුරු පහක් ලෙසය. මෙවැනි ප්‍රමාණයක් දින 30ක් ඇතුළත ගැනීමත් සැලකෙන්නේ දැඩි මත්පැන් භාවිත කරන්නන් ලෙසය.
මෙම ගණනය කිරීම් සැලකීමේදී නීත්‍යනුකූලව නිපදවන ලද අරක්කු බෝතලයක (මිලි ලීටර 750ක) ශුද්ධ මද්‍යසාර මිලි ලීටර 251.25ක් ඇත. අපේ රටේ නීත්‍යනුකූල මත් පැන් භාවිත කරන්නන් අතරින් වැඩිම ප්‍රතිශතයක් නියෝජනය කරන්නේ අරක්කු බොතල් කාලේ කුප්පි පාවිච්චි කරන්නන්ය. මෙම ගණනය කිරීම් සැලකීමේදී මෙම කාලේ බෝතලය ශුද්ධ මද්‍යසාර මිලි ලීටර 62.8ක් ඇත. මේ කාලේ බෝතල් භාවිත කරන්නන් එය භාවිත කරන්නේ දින 30කට වරක්දැයි සිතා බලන්න.
සාමාන්‍යයෙන් මෙම බෝතල් භාවිත කරන්නේ බොහෝ විට දෛනිකව තම රාජකාරී කටයුතු හමාර කළ පුද්ගලයන්ය. සාමාන්‍යෙයන් අපේ රටේ මෙම කාලේ බෝතල් භාවිත කරන්නගේ චර්යාව වන්නේ මාසයක වරක් හෝ අඩුම තරමින් සතියකට වරක් “කාලක් ගැසීම“ නොවේ. ඔවුහු දිනපතා කාලක් බොති. සමාගම් සංඛ්‍යා ලේඛන සැලකීමේදී සාමාන්‍යයෙන් නීත්‍යනුකූල මත්පැන් නිෂ්පාදන සමාගම් පමණක් මාසයකට අලෙවි කරන මිලි ලීටර 180, කාලේ බෝතල් ප්‍රමාණය ලක්ෂ 30- 35 අතර වෙයි. මේ අනුව සැලකීමේදී අපේ රටේ දැඩි සේ මත් පැන් භාවිත කරන්නන් ලෝක සෞඛ්‍ය සංවිධානය පිළිගත් දැඩි සේ මත්පැන් භාවිත කරන්නන්ගේ මට්ටම “මනින මීටරයේ“ රතු කට්ට පන්නන්නේ දින 30ක් නොව දින එකහමාරක් පමණ කාලයක් තුළය.
මත්පැන මීටරේ පුපුරුවන කසිප්පු
මේ අප කතා කළේ නීත්‍යනුකූලව සකසන ලද මත් පැන් ගැනය. එම මත්පැන් එසේ අලෙවි වෙද්දී ඊට සාපේක්ෂව සියයට 40ක් පමණ නීති විරෝධි මත්පැන් ද අලෙවි වෙයි. මේවායේ මද්‍යසාර ප්‍රතිශතය බොහෝවිට සියයට 33.5 ඉක්මවයි. එසේ බැලුවිට ඔවුන් අතැම් විට දිනක් තුළ ඉහත කී “දැඩි සේ මත්පැන් පානය කරන්නන්“ ගේ නිර්ණායක පන්නනවා විය හැකිය. අපේ රටේ අය බොන හැටියට ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්ණායක විහිලුවත් යයි කියන්නේ ඒ නිසාය. මේ ත්ත්වයෙන් ඇති වන සෞඛ්‍යමය බලපෑමේ තරම කෙබඳු දැයි පර්යේෂණයකින් දෙකකින් මිනිය නොහැකි තරම් බලවත් විය හැකිය.
එවැනි තත්ත්වයක් තුළ අප රටේ මත් පැන් පානය සඳහා දිනපතා ඇබ්බැහි වූවන් දින 30ක් තුළ නොව පැය කිහිපයක් තුළ මෙවැනි මද්‍යසාර ප්‍රමාණයක් පරිභෝජනය කරන්නෝ වෙති.
ලෝක සෞඛ්‍ය සංවිධාන වාර්තාවලට ඔවුන් සතුව ඇති නවතම දත්තවලින් අපට ලබා දෙන්නේ 2016 වසරේ තොරතුරුය. ඒ අනුව ශ්‍රි ලංකාවේ දැඩි ලෙස මත් පැන් පානය කරන එනම් දින 30ක් තුළ එක දිනක් හෝ මත්පැන් වීදුරු පහකට වඩා පානය කරන අය සියයට 29.4කින් වැඩි වී තිබේ. එය දරුණු තත්ත්වයකි.
මේ උදේ සවස මත්පැන් නොබොන බවට ප්‍රතිඥා දෙන බහුතරයක් බෞද්ධයන් සිටින රටක හැටිය.
මෙහි පවතින බරපතලකම වන්නේ මෙලෙසින් මත් පැන් පානය කරන පිරිස අතුරින් සියයට 40ක් පමණම විවිධ නීති විරෝධී මත්පැන්වලට යොමුවීමය. ඒවායේ මද්‍යසාර අඩංගු ප්‍රමාණය පිළිබඳව ප්‍රමිතියක් නැත. අඩංගු ද්‍රව්‍ය සම්බන්ධයෙන් කිසිදු වගකීමක් නැත. එහි සෘජු ප්‍රතිඵලය එල්ල වන්නේ පානය කරන්නන්ගේ සෞඛ්‍යයටය.
මත් පැන් වල ආදීනව රැසකි. සෞඛ්‍යමය වශයෙන් අත්වන දැඩි සෞඛ්‍ය පීඩාවලට ප්‍රධාන හේතුව වන්නේ හානිදායක ලෙස මත්පැන් පානය කිරීමය. ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන ආකාරයට හානිදායක ලෙස මත්පැන් පානය කිරීමේ උච්ඡතම තත්ත්වයක් වන්නේ ඉහත කී ආකාරයට දැඩි සේ මත් පැන් පානය කිරීමය.

මතට තිත තියන දෙශපාලන “ස්ලෝගන්“ කුඩු
මේ සෞඛ්‍ය බලපෑම අපේ රටේ ජනතාව නොඅඩුව වින්දනය කරති. එක් අතකින් ඔවුන් රජයට තම පානවලින් රුපියල් බිලියන ගණනික් බදු ගෙවද්දී ඉතිරි මුදල් වැය කරන්නේ බේත් හේත් සඳහාය. මෙය පෞද්ගලිකව පවුලේ ආර්ථික සෞඛ්‍යයට මේ රටේ ආර්ථිකයේ සෞඛ්‍යයටද එක සේ අහිතකර ලෙසින් බලපායි.
හාල් මාෆියාවට වැට බඳින්නට ආණ්ඩුව දැරූ උත්සාහය ඊයේ පෙරේදා ෆේල් වුණාට මතට තිත තැබීමේ වැඩපිළිවෙළ හමුවේ මේ රටේ හැම ආණ්ඩුවක්ම ෆේල් ය. අපේ රටේ ආගමික නායකයින්ද ෆේල්ය. අපට එසේ කියනන්ට සිදුව ඇත්තේ මේ සඳහා රජය මෙතෙක් ගෙන ඇති පියවර සියල්ල අසාර්ථක නිසාය.
මත්ද්‍රව්‍ය භාවිතයට පාලනය කිරීම සහ අධෛර්යවන්ත කිරීමට මේ වනවිට රට තුළ ආයතනික රාමුවක් ඇත. නිසි ප්රතිපත්තියකට වැඩ නොවුණද ප්‍රතිපත්ති යයි කියා ගන්නා කොළ කැබලිද වරින් වර නිර්මාණය වන්නේය. විශේෂයෙන් එක් එක් අවස්ථාවලදී බලයට එන එක් එක් නායකයන් තම දේශපාලන “ස්ලෝගන් “ මෙන් මත්ද්‍රව්‍ය භාවිතය පිටු දැකීම සඳහාද විවිධ තේමා ඔස්සේ විශාල මුදල් වැය කරයි. මතින් තොර ශ්‍රි ලංකාවක්, මතට තිති ආදි වශයෙන් වරින් වර පැමිණි මේ එක් ව්‍යාපාරයකටවත් අබැටක තරම් බලපෑමක් කළ නොහැකි බව බව පෙනෙන්නේ පසුගිය වසර 12ක පමණ කාලයක් තුළ මේ රටේ මත්පැන් භාවිතය සියයට 94කින් ඉහළ යාමය. ඒ අතරින් සියයට 40ක් නීති විරෝධී මත් පැන් ඉහළ යාමය.
සාමාන්‍යයෙන් අපේ රටේ කෙරෙන්නේ මත්පැන් භාවිතය මෙල්ල කිරීමට එහි මිල ඉහළ දැමීමය. හෙට එන අයවැයෙන්ද එය සිදුවිය හැකිය. එහෙත් මේ ත්තත්වයට සමානුපාතිකව සිදුවන්නේ නීති විරෝධී මත්පැන් භාවිතය ඉහළ යාමය. ඊට යොමුවන පිරිස වැඩි වීමය.
එබැවින් නීති විරෝධී මත්පැන් මෙල්ල නොකොට ආණ්ඩුව අපේක්ෂා කරන ආදායමක් ලාබයක් ලැබුවද එයිනුත් ලාබයක් ලබිය නොහැකිය. ඊට හේතුව විෂ මත්පැන් අධික ලෙස භාවිත කිරීම මඟින් සුරා බදු ආදායම මෙන් කිහිප ගුණයක් සෞඛ්‍යය වෙනුවෙන් වැය කිරීමට සිදුවීමය. මේ සංකීර්ණතාවන් අවබෝධ කරලෙන අපේ රටේ මත්පැන් පිළිබඳ ප්‍රතිපත්ති සැකසිය යුතුය. අලුතින් නීති ගේන්නට පෙර තිබෙන නීති රීති නිසි ලෙස ක්‍රියාවට නැංවිය යුතුය. එහෙත් ඒ සඳහා දැනට පවතින ආයතනික රාමුව තුළ මේ කටයුතු සිදුවේද ?
මේ ගැන තදින් විමසා බැලිය යුතුව ඇත.







